කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගන්න එපා
කොවිඩ් වයිරසය ආසාදනයවීමෙන් වැළකීමට කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වැනි ක්ෂණික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ පැවැසුවාය.
ඇය මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ක්ෂණික ආහාරපාන ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන බවත්, සැමවිටම සමබල ආහාර වේලක් ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇය පවසයි.
එසේම විටමින් ඩී. ඌණතාව පවතින අය නිසි මාත්‍රාවට විටමින් ඩී ලබා ගැනීමද මෙම වයිරසය ආසාදනය නොවී සිටීමට ඉවහල් වන බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයිරස සම්බන්ධයෙන් මෙරට තුළ සිදුවන පරීක්ෂණ කටයුතු නැංවීමටද සෞඛ්‍ය අංශ තීරණයකර ඇත.
එසේම අපේ රටේ පවතින වයිරසවල ජාන විකෘතිතා පවතීද යන්න පිළිබඳවද දිගින් දිගටම පරීක්ෂණ සිදුවේ.
වරුණි පෙරමුණ/ ක්රිෂ්ණ ඩී. එදිරිසිංහ -කොළඹ
