News

කොරෝනාවට බ්‍රිතාන්‍යයෙන් අලුත් ප්‍රතිකාරයක්

කොවිඩ්-19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ. මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

කොවිඩ් රෝගීන් දැඩි සත්කාර ලැබිය යුතු මට්ටමට ළඟා වීම සියයට 79කින් පමණ අඩු කිරීමට මෙයට හැකි බව සඳහන් වේ.

මෙම ප්‍රතිකාරයේදී යොදා ගැනෙන්නේ එක්තරා ප්‍රෝටීනයකි. ඉන්ටෆෙරෝන් බීටා (interferon beta) නමින් හැඳින්වෙන මෙම ප්‍රෝටීනය ශරීරයෙහි වයිරස ආසාදනයක් ඇති වූ විට සාමාන්‍යයෙන් සිරුර තුළ නිපදවෙන ප්‍රෝටීනයක් බැව් සඳහන් වේ.

ඉහත කී ප්‍රතිකාරයේ දී සිදුවන්නේ මෙම ප්‍රෝටීනය පිටතින්ද ලබා දීමයි. එය නෙබියුලයිසරයක් හරහා සෘජුවම රෝගියාගේ පෙණහලුවලට ඇතුළු කරනු ලැබේ. එමගින් කොරෝනා වයිරසය සමග සටන් කිරීමේ ශක්තියක් රෝගියා තුළ ජනිත වන බැව් පැවසේ.

කොවිඩ් රෝගීන් තුළ ඇති වන හුස්ම ගැනීමේ අපහසුතා විශාල වශයෙන් අඩු කිරීමටද මෙම ප්‍රතිකාරයට හැකි බව හෙළි වී තිබේ. රෝගියකු රෝහල්ගතව සිටිය යුතු කාලයද තුනෙන් එකකින් පමණ අඩු කිරීමට මෙයට හැකියාව ඇතැයි අනාවරණය වී ඇත.

ඉහත කී අත්හදා බැලීම සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ රෝහල් 9කට ඇතුළත්ව සිටි කොවිඩ් රෝගීන් 101 දෙනකු යොදා ගනිමිනි. ඉදිරියේ දී රෝගීන් මීට වඩා වැඩි පිරිසක් යොදා ගනිමින් තවදුරටත් අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතව ඇති අතර ප්‍රතිකාරයේ සාර්ථක බව ගැන අවසන් තීරණයක් ගත හැකි වනු ඇත්තේ එවිටය.

 

සහන් වික්‍රමගේ