සුව දිවිය

කොරෝනාවලට බය වෙන්න ඒත් ඒක භීතිකාවක් වෙන්න දෙන්න එපා

බය සහ භීතිකාව එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙකකි. බය සියලු සතුන්ට ජන්මයෙන් හිමිවන දෙයකි. ඒ නිසා එය සෑමවිටම මිනිසා ඇතුළු සියලු සතුන්ට ආරක්ෂිත යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාකරයි. තමාට තර්ජනයක් වන දෙයකින් බේරීම සඳහා ඉඩ සලසන ආරක්ෂණ යාන්ත්‍රණයකි, බිය. නමුත් භීතිකාව යනු ව්‍යාධිජනක තත්ත්වයකි. එමනිසා මේ දෙකේ වෙනස තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය.
එසේනම් බිය අප ආරක්ෂා කරන්නේ කෙලෙසද?

යමෙකු බියට පත්වීමෙන් අනතුරුව තමා අබියස තිබෙන අනතුර පිළිබඳව විමසිලිවත්ව කටයුතු කිරීමට එම පුද්ගලයාව සූදානම් කරයි. ඒ නිසා යම් යම් අවස්ථාවලදී බිය ඇතිවීම ඉතා ස්වභාවික මෙන්ම සාධනීය ලක්ෂණයකි. ඒ අනුව බිය යනු අනතුරු ඇඟවීමක් ඉදිරියේ පරිස්සම් විය යුතු බවට ඇඟවෙන සංඥාවකි. කෙනෙකුට දැනෙන බිය සමඟ මනස තුළත් ශරීරය තුළත් යම් යම් වෙනස්කම් ඇති වේ.
ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ වකුගඩුවලට ආසන්නව පිහිටි ඇඩ්රිනලින් ග්‍රන්ථිවලින් අඩ්රිනලින් හෝර්මෝනය ශ්‍රාවය වීමයි. එම හෝර්මෝනය නිසා හෘද ස්පන්දනය වැඩි වීම, කළු ඉංගිරියාව විශාල වීම, දහඩිය දැමීම ආදී ලක්ෂණයන් පවා ඇති වේ. මෙයින් සිදු කරන්නේ අවධානමට එරෙහිව සටන් කිරීමට හෝ එයින් පල යාමට පුද්ගලයා සුදානම් කිරීමයි. මේ නිසා බය යනු සාමාන්‍ය තත්ත්වය තුළ සාධනීය ලක්ෂණයක් ලෙසින් මා හඳුන්වමි.

එහෙත් එහි නිශේධනීය පැත්තක්ද ඇත. එනම් අපගේ සිත් සතන් තුළ ඇතිවන බිය නිසා, අපගේ හැඟීම් නියාමනය කිරීමට මෙන්ම, අපට ලැබෙන තොරතුරු නිසි ලෙස තාර්කිකව විග්‍රහ කිරීමට බාධා ඇතිවීමයි. එසේම සදාචාරත්මක ලෙස හැසිරීමට අපගේ මොළයෙන් කරන බලපෑමට ද ඇතැම් අවස්ථාවලදී මේ නිසා බාධා විය හැක. එනිසා අපගේ චින්තනයට හා තීරණ ගැනීමට එය ඍණාත්මක ආකාරයකින් බලපා දැඩි ආවේගශීලී ප්‍රතික්‍රියාවලට පවා ඇතිවිය හැක. අහස කඩා වැටෙන බව කියමින් පලා ගිය හාවාට සිදුවුණේ එයයි.

මෙවන් තත්ත්වයක් තුළ බිය අනවශ්‍ය ලෙස ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩිවී මානසික රෝග පවා ඇතිවීමට ඉඩකඩ ඇත. මෙලෙස ප්‍රමාණයෙන් ගුණයෙන් වැඩි වූ විට බය තවදුරටත් ආරක්ෂණ යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. එවිට ඇතිවන්නේ ව්‍යාධිජනක භීතිකා තත්ත්වයයි. ඇත්ත නැත්ත නොවිමසා එන මුහුණුපොතේ සඳහන් තොරතුරු වග විභාගයකින් තොරව බෙදාගන්නේ මේ වැනි අයයි. තොරතුරු වසංගතයට ගොදුරු වී ඔවුන් කරන්නේ පුද්ගල භීතිකාව සමාජගත කිරීමට දායක වීමයි. එවිට ඔවුන් එන්නත් පිළිබඳව පදනම් විරහිත වැරදි තොරතුරු වග විභාගයකින් තොරව පතුරවා හරියි.

මෙවන් පසුබිමක් තුළ අතිශයින් කැළඹෙන සිත් තුළ තර්කානුකූල තීන්දු තීරණ ගැනීමේ හැකියාව මොටවන අතර ඔවුනගේ හැඟීම් වෛරය හා ප්‍රචණ්ඩත්වය දක්වා දිගු විය හැක.
අප මෙම තත්ත්වය කොවිඩ් වසංගතයට ගලපා සිතා බලමු.

කොවිඩ් වසංගතය ලොවට පැමිණි මුල් අවධියේදී ඒ පිළිබඳ තොරතුරු නිසියාකාරව නොලැබීම නිසා සාධාරණ බියක් මිනිස් සිත් තුළ ඇතිවිය. වසංගතයේ මුල් අවධියේදී ඇතිවූ අවිනිශ්චිත පසුබිම තුළ ජනිත වූ බිය පාදක කොටගෙන ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ලවීම පුදුමයක් නොවේ. පසුව ලෝකය පුරා ඇති වූ බිය ප්‍රමාණයෙන් සහ ගුණයෙන් වැඩිවී, රට රටවල් සම්පූර්ණයෙන් අගුළු දැමීමට පවා කටයුතු කළේය. සමහර රටවල ව්‍යසනයේ මුල් අවධියේදීම අතිශය විශාල මරණ ප්‍රමාණයක් සිදුවූ අතර එවන්, රටවල් මරණ භීතියෙන් ඇලලී ගියේය. එහෙත් අපේ රටේ පළවෙනි රැල්ලේදී රෝගීන් ඇති වූයේ තුන්දාහක් සහ මරණ 13 ක් නිසා අප රට තුළ ජනතාවගේ බිය ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අඩු වීය. එම අඩුවීමත් සමගම අප අනුවර්තනය වූයේ රෝගය නොසලකා හැරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂණ ක්‍රමවේද අමතක කර දැමීමට ජනතාව පුරුදු විය.

සිංහල හා හින්දු අවුරුදු සමයට පෙර මෙන්ම අවුරුදු සමයේදී ඇති වූයේ මෙම තත්ත්වයයි. මාර්තු වනවිට රෝගින් 150ක් වී, මරණ බයද අඩු වී ජනතාවගේ හැසිරීම් පරණ තත්ත්වයට පත්වූයේ ගෝලීය බිය නොසලකා හරිමිනි.
නමුත් ඔරලෝසුවක බට්ටා දෙපැත්තට පැද්දෙන්නාක් මෙන් දැන් නැවත වතාවක් ජනතාවගේ බිය අනිත් අන්තයටම ගොස් ඇත. ඒ අනුව එම බය දැන් භීතිකාවක් දක්වා ගොස් ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩි වී ඇත.

මෙම තත්ත්වයන් තුළ බිය ප්‍රමාණයෙන් හා ගුණයෙන් අනවශ්‍ය ලෙස වැඩිවීමට ඉඩ නොදිය යුතුය. තාර්කික ඥානයෙන් තමන්ගේ හැඟීම් සහ හැසිරීම් පාලනය කොට ගෙන ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් බය තමන්ගේ වාසියට හේතුවන සාධනීය කරුණක් බවට පත්කර ගැනීම වැදගත්ය.

කොවිඩ් වසංගතයෙන් පරිභාහිරව ගත් කලද, අප භීතිකා වශයෙන් හඳුන්වන රෝග ඇත. සමහරුන් සෙනඟ අතරට යෑමට බියක් හා තැතිගැනීමක් පෙන්වන විට එය සමාජ භීතිකාවක් වශයෙන් අපි හඳුන්වයි. තවත් සමහරුන් වෙනත් නොයෙක් ආකාරවල භීතිකාවලට මුහුණ දේ. සමහරුන් විශාල පිට්ටනියක් වැනි විවෘත ස්ථානයන්ට තිබෙන භීතිකා රෝගය, තවත් සමහරුන් අහස් යාත්‍රාවල ගමන් කිරීමට තියෙන භීතිකා රෝගය නිසා ජීවිත කාලය කිසිදා එවන් ගමනකට සහභාගී වී නැත. තවත් සමහරුන් සෝපානයක ගමන් කිරීමට ඇති භීතිකාව, තවත් අය උස ගොඩනැගිලිවලට ඇති භීතිකාව ආදිය අප දන්නා භීතිකාවන්ය. මෙවන් තත්ත්වයන් ඔවුනගේ එදිනෙදා ජීවිතයට අතිශය අහිතකර ලෙස බලපායි.

මෙවන් අවස්ථාවල සිදුවන්නේ බය ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩි වී භීතිකා රෝගයක් බවට පත්වීමයි. එවන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ඇත. එහෙත් කොවිඩ් වසංගතය තුළ ඇතිවන සාධාරණ බය සාධනීයව යොදාගෙන එය නිශේධනීය භීතිකාවක් දක්වා වර්ධනය වීමට ඉඩ නොතැබීම වගකිව යුතු සැමගේ වගකීමකි.