News

කොරෝනා ආරම්භය සොයා විද්‍යාඥයෝ ගල් ගුහාවල

කොරෝනා වයිරසයේ ආරම්භය ගැන සොයා ගැනීම සඳහා මේ වනවිට තායිලන්තයේ විද්‍යාඥයන්ද විශාල පර්‌යේෂණයක් පටන්ගෙන තිබේ. මේ අනුව ඔවුහු දැන් එරට වනගත පෙදෙස්වල ගල් ගුහා පීරන්නට පටන්ගෙන සිටිති. ඒ එම ගල් ගුහාවල වෙසෙන වවුලන් අල්ලා ගැනීම සඳහාය.

මේ වනවිට මිලියන 20 කට වැඩි සංඛ්‍යාවකට ආසාදනය වී ඇති කොරෝනා වයිරසයේ ආරම්භය සිදුව ඇත්තේ වවුලන් තුළ විය හැකි බව දැනට පවතින විශ්වාසයයි. තායිලන්ත විද්‍යාඥයන්ගේ පර්‌යේෂණවල අරමුණ වන්නේ මේ පිළිබඳ තහවුරු කර ගැනීම බැව් සඳහන් වේ.

මේ වනවිට පැතිරෙමින් ඇති වයිරසයට බොහෝ දුරට සමානකම් ඇති වයිරසයක් චීනයේ දකුණු ප්‍රදේශයේ වෙසෙන (Horseshoe Bats නමින් හැඳින්වෙන) වවුල් විශේෂයක් තුළ ඇති බැව් සොයාගෙන ඇත. තායිලන්තය තුළ මෙම වර්ගයට අයත් වවුලන් ප්‍රභේද 19ක් සිටින බැව් වාර්තා වේ. නමුත් මෙම වවුලන් පිළිබඳව තවමත් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව විද්‍යාඥයන් සඳහන් කර ඇත.

පසුගිය දිනවල විද්‍යාඥයන් තායිලන්තයේ සායි යොක් ජාතික උද්‍යානයේ පිහිටි කන්දක් නැග එහි මුදුනේ විශාල දැල් අටවා තිබූ අතර වවුලන් 200ක් පමණ අල්ලා ගැනීමට ඔවුන් සමත්ව තිබිණි. මේ ආසන්නයේ වවුලන් වාසය කරන ගල් ගුහා තුනක් පිහිටා ඇති බැව් සඳහන් වේ.

මේ වනවිට ඉහත කී වවුලන්ගේ ඛේටයේ, රුධිරයේ සහ මළ මුත්‍රාවල සාම්පල ලබා ගෙන ඇත. නව කොරෝනා වයිරසය මෙම වවුලන් තුළ සොයා ගැනීමට හැකි වනු ඇති බව මෙම විද්‍යාඥයන්ගේ කණ්ඩායමේ නායිකාව වන සුපපෝන් වචරප්ලූසාදිගේ අදහසයි.

සහන් වික්‍රමගේ