News

කොරෝනා ගැන ඇමරිකාව පට්ට පල් බොරු කියනවා-චීන විදේශ ඇමැති

කොවිඩ් 19 වෛරසය පිළිබඳව ඇමෙරිකාව ‘කුමන්ත්‍රණ’ සිදුකරමින් ‘මුසාවන්’ පතුරුවා හරින බවත්, එක්සත් ජනපදයට දේශපාලන වෛරසයක් ආසාදනය වී ඇති බවත් චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ ඇමැති වැන්ග් යී පසුගිය ඉරිදා විදේශීය වාර්තාකරුවන් අමතමින් ප්‍රකාශ කළේ අමෙරිකාවේ මෙම කුමන්ත්‍රණ හා මුසාවන් දෙරට අතර ආතතීන් උත්සන්න කිරීමට හේතු වී ඇති බවය.

ඇතැම් දේශපාලනඥයන් දේශපාලනිකව චීනයට නැවත නැවත පහරදීමට බලකරමින් සිටින බවත් ඔහු කීවේය.

එම නිසා කොවිඩ් 19 වෛරසය පිටුදැකීමට කටයුතු කිරීම වෙනුවට ‘කාලය සහ වටිනා ජීවිත නාස්ති කිරීම නවත්වන්නැයි’ විදේශ ඇමැතිවරයා අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

මේ වසරේදී නැවත මැතිවරණයකට යෑමේ අභියෝගයට මුහුණ දී සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව සිටී.

කෙසේ වෙතත් ට්‍රම්ප් විසින් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව චීනයට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත් සමග බීජිං හා වොෂිංටනය අතර ආතතීන් උත්සන්න වී ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා ඇති චීන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේ ගෝලීය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

මේ අතර වෛරසයේ උපත සිදුවූවා යැයි ප්‍රකාශිත චීනයේ වුහාන්හි සුප්‍රසිද්ධ වෛරස පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වැන්ග් යාන් සී.ජී.ටී.එන්. (CGTN) රූපවාහිනි සේවය සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කළේ සිය පර්යේෂණාගාරයෙන් වෛරසය පිටතට කාන්දු වූයේ යැයි පැවැසෙන කතා සියල්ල පැහැදිලිවම නිර්මාණය කරන ලද ඒවා බවයි.

අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් එහිදී පවසා ඇත්තේ මෙම නව කොරෝනා වෛරසය (කොවිඩ් 19) පිළිබඳ දැනුමක් පසුගිය වසරේ (2019) දෙසැම්බර් මාසයට පෙර චීනයට නොතිබූ බවයි. එසේම ඒ පිළිබඳව පර්යේෂණ කිරීමක් හෝ එය සන්තකයේ තබාගැනීමක් චීනය විසින් සිදුකර නැතැයිද වැන්ග් සී වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබේ.

 

නයන තරංග ගමගේ