නවතම ප්‍රවෘත්ති

කොරෝනා රෝගියෙක් ගෙදරදී බලාගන්නේ කොහොමද?

රෝහල් ධාරිතාව ඉක්මවා යමින් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ, අදාළ රෝගීන්ට දින ගණනාවක් ගෙවා දැමීමට සිදුව ඇත්තේ තම නිවසේයි.

එවන් අවස්ථාවක තම ආරක්ෂාව වාගේම නිවසේ සෙසු අයගේ ආරක්ෂාවත් සලසා ගනිමින්, කොරෝනා රෝගියෙකු රැකබලා ගැනීමේ වගකීම අදාළ නිවැසියන්ට තිබේ. එම කාර්යය වඩාත් නිවැරදිව කරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

දින කිහිපයක සිට තිබුණු හෙම්බිරිස්සාවත්, කැස්සත් නිසා චතුමිණීගේ හිතේ සැකයක් තිබිණි. තවත් දිනක් ගෙවෙද්දී මද උණ ගතියක්ද ආවෙන් ඈ සිතුවේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගැනීම කෝකටත් හොඳ බවය.

ඒ සිතිවිල්ල ආ මොහොතේ පටන් ඇය තම කාමරයෙන් පිටතට නොපැමිණි තරම්ය. ඇගේ කෑම වේල, තේ වේල මව විසින් කාමරයටම ගෙනැවිත් දුන් බැවින් ඇය පිටතට ආවේ නැත. එදින සවසම ඇය පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමු වූවාය.
“ඔය බබාලව මේ පැත්තට එවන්න එපා අම්මේ….”

චතුමිණී කීවේ කාගේත් පරෙස්සම ගැන සිතාය. සැමියාටද ඇය කීවේ දරුවන් සිටින කාමරයේ සිටින ලෙසයි.
පසුදා දහවල් වනවිට චතුමිණීගේ හිත තිබූ සැකය තහවුරු වී තිබුණි. ඇයගේ රෝග පරීක්ෂණ වාර්තාව අනුව ඇය කොරෝනා ආසාදිත බව හඳුනාගනු ලැබුවාය.

“හොස්පිට්ල් පිරිලා… මොනවද කරන්නේ. ගෙදර ඉඳලත් බෑ. අමාරුවක් වුණොත්.”
සියල්ලෝම දැන් එකම ප්‍රශ්නයකය. චතුමිණීගේ සැමියා ග්‍රාම නිලධාරී මහතාට දුරකතන ඇමතුමක් ගෙන සිද්ධිය විස්තර කළේය. පී.එච්.අයි. මහත්තයා නම් දුරකතනය නොගන්නට ඇත්තේ මේ දිනවල කොරෝනා හේතුවෙන් වැඩ රාජකාරි බහුල නිසා විය යුතුය.
“ලොකු අමාරුවක් නැත්නම් ගෙදරම ඉන්න. මේ වෙලාවේ හොස්පිට්ල් හොයන එක ලොකු ප්‍රශ්නයක්. දුම් අල්ලන්න. කොත්තමල්ලි බොන්න කියන්න.”

ග්‍රාම නිලධාරී මහතා කියද්දී, චතුමිණීගේ සැමියාටද එය පිලිගන්නට සිදුවිය.
සැබෑවටම ගෙදර අනෙක් අයත් ආරක්ෂා වෙමින් කොරෝනා රෝගියෙකු පරෙස්සමට රැකබලා ගන්නේ කෙසේද? ඒ පිළිබඳව විස්තර කරමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“ගෙදර කොවිඩ් රෝගියෙක් ඉන්නව නම් ඔහු හෝ ඇය ගෙදර සෙසු සාමාජිකයින්ගෙන් හැකිතාක් දුරට වෙන්ව තබාගත යුතුයි. වෙනම කාමරයක් තිබෙනවා නම් වඩාත් සුදුසුයි. එහිදී කාමරයට හිරුඑළිය වැටීමත්, හොඳින් වාතාශ්‍රය ලැබීමත් වැදගත්. රෝගියාට වෙනම වැසිකිළි පහසුකම් නැත්නම්, රෝගියා එය භාවිතා කර පැමිණි පසු විෂබීජහරණය කිරීම වඩාත් සුදුසුයි. රෝගියා කාමරයෙන් එළියට පැමිණෙන විට මුව ආවරණයක් පැළඳීමත්, නිවසේ රෝගියාට උපස්ථාන කටයුතු කරන පුද්ගලයා මුව ආවරණ පැළඳීම වගේම, විෂබීජ පැතිර නොයන ආකාරයට නිතර අත් සේදීම, සැනිටයිසර් භාවිතය, දුම් ඇල්ලීම ආදිය රෝගියාට වගේම ගෙදර අනෙක් අයටත් සුදුසුයි.
ඊළඟට රෝගියාගේ විවේකය ඉතාම වැදගත්. ඇදේ වැතිර සිටිනවිට ශ්වසනය පහසු කිරීම සඳහා කොට්ට කිහිපයක් උඩ හිස තබාගැනීම වැදගත්. ඒ වාගේම වම් ඇලයට හෝ දකුණු ඇලයට සිටීමද වැදගත් බව මතක තබාගන්න.”

මීට අමතරව ඔහු තවත් වැදගත් කරුණු කිහිපයක්ම පෙන්වා දුන්නේය. ඒ අතර, රෝගියාගේ ආහාරපාන ගැන සැලකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන් ප්‍රධාන ආහාරවේල් තුන නියමිත වේලාවට ලබාදීමත්, එය ප්‍රෝටීන් සහිත ආහාර වේලක් වීමත් වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය. එපමණක්ද නොවේ විජලනය වළක්වා ගැනීමට නිතර පාන වර්ග ලබාදීම අවශ්‍යය. ඒවා උණුසුම් පාන වර්ග විය යුතු අතර, දිනකට දෙවරක් උණුවතුර හුමාලය අල්ලා ගන්න ඉඩ සැලැස්වීම කළ යුතුය.

මීට අමතරව කොරෝනා ආසාදිත අය වෙනත් නිදන්ගත රෝගාබාධයන්ගෙන් පෙළෙන්නේ නම් ඊට ලබාගන්නා ඖෂධ රෝගියාට නිසිපරිදි ලබාදීම කළ යුතුය. දියවැඩියාව වගේ රෝග තත්ත්වයක් තිබේ නම් ඖෂධ ගන්නා අතරතුර ආහාර පාලනය කිරීමද අවශ්‍යය.
මෙහිදී ඇදුම වැනි රෝග තත්ත්වයන් කොරෝනා හේතුවෙන් උත්සන්න විය හැකි නිසාම ඊට ඉන්හේලර් භාවිතා කරන්නේ නම් එයද නොකඩවා භාවිතා කිරීම වැදගත්ය.

“ඒ වාගේම රෝගියාගේ ආවතේව කටයුතු කරන්න ගෙදර සියලු සාමාජිකයින් ඉදිරිපත් වෙන්න එපා. වැඩි වයස්වල පසුවන්නන් යොදවන්නත් එපා. ඒ සඳහා නිවසේ සිටින නිරෝගී එක් අයෙකු තෝරාගැනීම සුදුසුයි. නිවසේදී වුව රෝගියාත්, අනෙකුත් නිවැසියන් මුහුණට හමුවන අවස්ථාවල මුව ආවරණ පැළඳ සිටීම මගින් විෂබීජවලින් සෙසු සාමාජිකයින් ආරක්ෂා වෙනවා.

මෙවැනි රෝගයකදී පෙනහළු ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යාම වැදගත්. ඒ සඳහා ආසාදිත රෝගියා උණුවතුර හුමාලය ඇල්ලීම අනිවාර්යයෙන් දවසට දෙවරක්වත් කළ යුතුයි. ඒ වගේම රෝගියාගේ රෝග තත්ත්වය ගැන නිරන්තරව අවධානයෙන් පසුවීම වැදගත් වෙනවා. රෝගය උත්සන්න වන ලක්ෂණ තිබේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගෙන ඒ බව දැනුම් දිය යුතුයි.”

මේ උපදෙස්වලට අමතරව, ඉකුත්දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රචාරණ නිලධාරිනී, විෂ්මිතා ගුප්තා මහත්මිය ද මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කර තිබුණාය. ඒ අතර එකක් වන්නේ තම නිවසේ කොරෝනා රෝගියෙකු ඇතැයි කී විට එන බියයි. එසේ නොවී ඒ තත්ත්වයට මුහුණ දීමටත්, තමන්ද ආරක්ෂා වී රෝගියා හොඳින් රැකබලා ගැනීමටත් කටයුතු කිරීම වැදගත් බව ඇය පෙන්වා දී තිබුණාය.

එමෙන්ම රෝගී සත්කාරයට යන අයෙකු වරක් භාවිතා කරන මුව ආවරණ නිසි ක්‍රමවේදයට අනුව කසළ බඳුනකට දමා පසුව පිළිස්සීම හෝ ගැඹුරු වළක් කපා සුරක්ෂිතව වසා දැමීම මගින් විෂබීජ පැතිරීම පාලනය වන බව ඇය පෙන්වා දී තිබුණාය.
තවද නිවසේ රෝගියෙකු සිටින විට, නිවසේ සෙසු සාමාජිකයින් ප්‍රධාන පෙළේ ආශ්‍රිතයින් බැවින්, එළියට නොයා ඔවුන්ද නිවසේ නිරෝධායනය වීම අවශ්‍ය දෙයකි.

සැබෑවටම තම පවුලේ සාමාජිකයන් වටින්නේ තමන්ටය. ඔවුන් ආදරයෙන් රැකබලා ගන්නා අතරම, ඇතැම්විට ඔවුන් මේ නිසාම මුහුණදෙන සමාජ ගැටළුද නැතුවා නොවේ.

‘නිරෝධායනය වන නිවසක්’ යැයි බෝඩ් එකක් ගසා තිබුණොත්, එය ඔබට ආරක්ෂා විය යුතු කලාපයක් බව හැඟවීමකි. ඒ නැතත් මෙම රෝගයේ බරපතළ බව දන්නා කිසිවෙකුත් තම වගකීම් යුතුකම් බැහැරකොට හැසිරෙන්නේ නැත.
අද ඒ ගෙදරට ආ කොරෝනා හෙට ඔබේ නිවසේ සාමාජිකයෙකු රෝගියෙකු කරන්නට බැරි නැත. එය එසේ වුවත් නොවූවත් බුද්ධිමත් සමාජයක යුතුකම වන්නේ සාමූහිකව කොරෝනා මාරයා පරාජය කිරීමට දායක වීමය. එය අප කාගේත් යුතුකම වාගේම වගකීමකි.

දීපා වසන්ති එදිරිසිංහ