News

කොවිඩ් දේහ භූමදානයට භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් සෞඛ්‍යයට බලපාන කරුණු බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර බව පැවසේ.

එසේම කොවිඩ් ආසදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

හමුව සඳහා අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස ද උපදෙස් ලබා දී ඇත.

එසේම කොවිඩ් ආසාදනයෙන් මියයන පුද්ගලයෙකුගේ මෘත ශරීරය තුල මසකට වැඩි කාලයක් (දින 36ක් පමණ ) වෛරසය තිබෙන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සහය ලබාදෙන ලෙස ද එම අවස්ථාවට පැමිණ සිටි සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.