News

කොවිඩ් සමයේ පෞද්ගලික අංශයේ සේවයෙන් පහකිරීම් වැටුප් නොගෙවීම් පැමිණිලි 15000ක්

කොවිඩ්-19 වයිරස් ව්‍යාප්තිය පැතිරගිය පසුගිය මාස දෙකක කාලයේ පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපෑ ගැටලු පිළිබඳ පැමිණිලි 15,000කට ආසන්න සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන පැවසීය.

මෙම පැමිණිලි පිළිබඳ සකස් කළ සම්පූර්ණ වාර්තාවක් අද (29 වැනිදා) සමාලෝචනයට ලක් කිරීමට නියමිත බවද ලේකම්වරයා ‘අරුණ’ට පැවසීය.

ලැබී ඇති පැමිණිලිවලින් බහුතරයක් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට සහ වැටුප් නොගෙවීම හෝ වැටුපින් කොටසක් නොගෙවීම සම්බන්ධ ගැටලු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා මෙන්ම ප්‍රධාන කාර්යාල වෙත ඍජුවමද මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා කඩිනමින් ඒවා පිළිබඳ විමර්ශනය කිරීම් ආරම්භ කරන බවද සඳහන් කළේය.

අදාළ පැමිණිලි පිළිබඳ විමර්ශන සේව්‍ය සේවක දෙපාර්ශ්වය කැඳවා සමථකරණය ඔස්සේ විසඳීමට උපරිමයෙන් උත්සාහ කරන අතර යම් හෙයකින් එම උත්සාහයන් අසාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම පවතින නෛතික ක්‍රියාමාර්ග ඔස්සේ සේවකයන්ට සහන සැලසීමට කටයුතු කරන බවද පැවසීය.

නයන තරංග ගමගේ