කොළඹ නගර සභාවේ බෙදන්නට ගෙනා වියළි ආහාර මදි වී දෙමටගොඩ උණුසුම් තත්ත්වයක්
කොළඹ නගර සභාව විසින් ඊයේ සවස 1ට වනාතමුල්ල ප්‍රදේශවාසීන්ට වියළි ආහාර දීම තොග අවසන් වීම නිසා නතරවීම නිසා ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොළඹ පුරපති රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් මෙම වියළි ආහාර ආරම්භ වූ අතර එය දෙමටගොඩ වනාතමුල්ලේ වළේ ග්‍රවුන්ඩ් නමින් හැඳින්වෙන දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැතුණි. උත්සව ආරම්භ වූ අවස්ථාවේ කිසිඳු මීටරයක දුරක සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ක්‍රීඩාංගණය වටා වට කීපයක් හා බේස්ලයින් පාර දිගේ කිලෝමීටර 2ක පමණ පෝලිමක් දැකගත හැකි විය.

වියළි සහනාධාර බලාපොරොත්තුවෙන් රැස්වී සිටි පිරිස
භාණ්ඩ ගන්නට ආ ජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තුන්වරක් පාර්සල් බෙදාදීම අත්හිටුවන ලදී. මේ අතර වනාතමුල්ලේ හුදෙකලා පෙදෙසක කොවිඩ් රෝගියකුද ආධාර ලබාගන්නට ආවත් පොලිසිය දැක ඔහු පැනගොස් තිබේ.
සවස 1.30ට පමණ නගර සභාව කන්ටේනර් 3ක් මගින් ගෙනා භාණ්ඩ අවසන් වීම නිසා පස්වරු 6.30 වනතුරුත් දහයකට අධික වනාතමුල්ල ජනතාවත් තම විරෝධය දක්වමින් රැස්වී සිටිනු දක්නට ලැබුණි. මෙහිදී වනාතමුල්ලේ ගෘහනියක් අරුණට අදහස් දැක්වූයේ මෙසේය.
‘කලින් දවසේ ආධාර බෙදන්න මහල් නිවාස ගාවටම ඇවිල්ලා ආරවුලක් ඇතිවෙලා කන්ටේනර් ටික හරවගෙන ගියා. අද උදේ 5 ඉඳන් පෝලිමේ ඉන්නේ කන්නවත් නැතිව. දැන් හවස හය හමාරයි. ගෙදර ළමයින් තනිකරලා ආවේ. මේ බඩු ටික අරන් ගිහින් උයලා දෙන්න කියලා. මේ අපිට දීපු තුණ්ඩුව පිටිපස්සේ පළාතේ දේශපාලකයෝ 3 දෙනෙක්ගේ සීල් තියෙනවා. පැය 4-5 පෝලිමේ හිටපු සමහරු එක සීල් එකක් නැහැ කියලා හරවලා හැරියා. දැන් ගෙනාපු බඩු ටික ඉවරවෙලත් පැය 5ක් විතර වෙනවා. බඩු ගෙන්නේ නෑ කියලා හරියට කියනවා නම් අපිට සාගතේ ගෙදර යන්න පුළුවන්.

මන්ත්‍රී සීල් 3 පෙන්වමින්

මන්ත්‍රී ආනන්ද
මෙම බඩු පාර්සලය රු.3000ක පමණ එකක් වන අතර එයට හාල් කිලෝ 10ක්, හාල්මැස්සන්, පරිප්පු, තේකොළ, සීනි හා වටානා පරිප්පු වැනි දේ අයත් විය. මෙහිදි නාගරික මන්ත්‍රී ආනන්ද මහතා පමණක් අපට දැනගත හැකිවිය.
‘වනාතමුල්ල ගොඩක් පැති හුදෙකලා ප්‍රදේශ ලොක් ඩවුන්. අද බෙදුවේ මලු 500ක කන්ටේනර් 3ක්. ජනතාව කිසිම සෞඛ්‍ය පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැ. හුදෙකලා ප්‍රදේශ හින්දා ගෙදරටම ගිහින් වියළි ආහාර බෙදන එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අනුමත කළේ නැහැ. ඊයේ මෙත්සර උයනේ නිවාස යට කරන්නේ 428 දෙනෙක් උද්ඝෝෂණ කළා. පොලිසියෙන් ඒක විසුරවලා හැරියා.

පොහොට්ටු සංවිධායක ජගත් ලියනගේ
එහෙත් මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පළ කළ වනාතමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායක ජගත් ලියනගේ මහතා මෙසේ පැවැසීය.
‘මේ බඩු කලින් ඉවර වුණේ ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරු තමන්ගේ පාක්ෂකයන්ට මුලින්ම වියළි ආහාර ටික බෙදාගන්න හින්දා. දැන් ඉන්නේ අන්ත අසරණ පිරිස්. මං යෝජනා කළේ මහල් නිවාස ළඟටම ගිහිල්ලා පිළිවෙළින් තට්ටුවෙන් තට්ටුව ගෙයින් ගෙය පදිංචිකරුවන් ගෙනැල්ලා මේ බඩුමල්ල අතටම දෙන්න. එහෙම කළානම් මේ තත්ත්වය ඇතිවන්නේ නැහැ. දැන් ඉතින් වනාතමුල්ලේ මේ වියළි ආහාර නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට ගන්න පියවර මොකක්ද කියලා මම කොළඹ නගර සභාවෙන් අහනවා?’
පස්වරු 6.30 වන ඇඳිරි වැටි ඇති විටත් වනාතමුල්ල දහසකට අධික ජනතාවක් කුසගින්නේ තම අතේ වූ දේශපාලකයන් තිදෙනකු අත්සන් කළ ටෝකනය ඇතිව බලාසිටයේ කොළඹ නගර සභාවේ වියළි ආහාර මළු සහිත කන්ටේනරය එනතුරුය.

වියළි සහනාධාර බලාපොරොත්තුවෙන් රැස්වී සිටි පිරිස
වජිර ලියනගේ
