News

කොළඹ පැල්පත් වාසීන්ට අංගසම්පූර්ණ නිවාස 40000ක්

කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස හතළිස් දහසක් ඉදි කිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (05) මැද කොළඹින් ආරම්භ කළේය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත, ස්ටේඩියම්ගම සිරිමුතු උයන අසල නිවාස දහසකින් සමන්විත මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරමින් මෙම නිවාස හතළිස් දහසේ වැඩසටහන මෙසේ ආරම්භ විය.

මෙහි ඉදිකෙරෙන එක් නිවාසයක විශාලත්වය වර්ග අඩි 550කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදි කෙරෙන මෙම මහල් නිවාස සංකීර්ණය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන පන්දහස් නවසිය පනහකි.

වසර තුනක් ඇතුළත මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

කොවිඩ් 19 වෛරසය ඇතුළු වසංගත රෝග පැල්පත් නිවාස ආශ්‍රිතව පැතිර යෑමේ වැඩි ඉඩක් පවතින නිසා පැල්පත් නිවාස වෙනුවට නව මහල් නිවාස සංකීර්ණ එම ජනතාවට ලබා දීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවැසීය.