කොළඹ-මැගසින්- වැලිකඩ, ‘දරුණු’ අපරාධකාරයන් 150ක් බූස්සට
කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රඳවා සිටින දරුණු අපරාධකරුවන් එකසිය පනස් දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි පළමු අදියර යටතේ හඳුනාගත් බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙක් ඉදිරි දෙසතියක කාලය තුළ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යෑමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොළඹ බන්ධනාගාරවල සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට නියමිත එම රැඳවූවන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම් හා විවිධ අපරාධ මෙහෙයවූ අය බවට හඳුනාගෙන ඇත.
බූස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන එම රැඳවූවන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවා එහි රැඳවීමට තීරණය කර තිබේ.
එම ඒකකයට අනුයුක්ත කෙරෙන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉෂාර රත්නකාර
