කෝච්චි දිව්වට සෙනඟ නෑ
රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේදී දුම්රිය පහක් ධාවනය වුවද,එම දුම්රිය වලින් පැමිණියේ 500 කට අඩු සංඛ්‍යාවක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.
බෙලිඅත්ත සිට ඉදුරුව දක්වාද, ගාල්ල සිට ඉදුරුව දක්වාද, මහව සිට පොල්ගහවෙල දක්වාද, පොල්ගහවෙල සිට මහව දක්වාද මෙම දුම්රිය ධාවනය වූ බවත්,ඇතැම් දුම්රිය වල පැමිණියේ රජයේ සේවකයන් පහළොවක් පමණක් බවත්, බෙලිඅත්ත සිට ඉදුරුව දක්වා ධාවනය වූ දුම්රියේ පමණක් රජයේ සේවකයින් 200 ක් පමණ පැමිණි බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කීවේය.
දුම්රිය කාර්ය මණ්ඩල ප්‍රමාදවී රාජකාරියට පැමිණීම නිසා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ මාතලේ-මහනුවර සහ නාවලපිටිය-මහනුවර කාර්යාල දුම්රිය දෙක ධාවනය නොවූ බවද ඔහු සඳහන් කළේය.
ඉකුත් වසරේදී (2019) දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන හතක ආදායමක් ඉපැයුවද, වියදම රුපියල් බිලියන 14 ක් බවද, මේ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුව ලබන පාඩුව ගණනය කිරීමට අපහසු බවද ඔහු කීවේය.
ලබන සඳුදා (04 වැනිදා) සිට කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවත්, ඒ ඒ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විසින් නිර්දේශ කරන රාජ්‍ය සේවකයන්ට ටෝකන් පතක් නිකුත් කරන බවත්, එම ටෝකන් පත හිමි අයට පමණක් කාර්යාල දුම්රියවල පැමිණිය හැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
සාලිය කුමාර ගුණසේකර
