කෝප් සභාපති චරිත පළමුව ‘ගල් අඟුරු’ ගැන සොයයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් පළමු කෝප් කමිටු රැස්වීම හමුවට සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම කැඳවීමට තීරණය කර ඇත.
එම කෝප් කමිටු රැස්වීම පැවැත්වෙන්නේ මෙම 6 වැනිදා (බ්‍රහස්පතින්දා)ය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමාසහිත ලංකා ගල්අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ මෙහිදී හොයා බැලේ. විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව කෝප් කමිටුව එදින මේ පිළිබඳ කරුණු විමසනු ඇත.
මෙම මාසයේ ඔක්තෝබර් 06 වැනිදා සිට 23 වැනිදා දක්වා කෝප් රැස්වීම් 05ක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර 08 වැනිදා, ලක්විජය විදුලි බලාගාරයේ නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබේ.
ලක්විජය බලාගාරයේ වැදගත්කම සහ එහි පාරිසරික බලපෑම් පිළිබඳ විගණකාධිපති විශේෂ වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව කෝප් සභාපති චරිත හේරත් ‘අරුණ’ට පැවසීය.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ සක්‍යතා අධ්‍යනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මෙම 20 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
කැලණි ගඟේ ජලය අපවිත්රවීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතන කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
මීට අමතරව මෙම 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවා තිබේ. පොල් වගා කිරීමේ අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය එදින කෝප් කමිටුවේදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතය.
කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන බවද මෙම 06 වැනිදා කෝප් රැස්වීමේදී ඒ පිළිබඳ පැහැදිලි තීන්දුවක් ප්‍රකාශ කරන බවද සභාපතිවරයා පැවසුවේය.
අජිත් අලහකෝන්
