News

ඛනිජ තෙල් ආනයන තීරු බදු දෙගුණයකින් ඉහළට

බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් ඛනිජ තෙල් වෙනුවෙන් අයකරන ආනයන තීරුබදු දෙගුණ කිරීමට සහ නව අධිභාර පැනවීමට රජය කටයුතු කර ඇත.

මුදල් විෂයභාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 අප්‍රේල් 22 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් මෙම බදු සංශෝධන සිදුකර තිබේ.

අදාළ ගැසට් නිවේදන මගින් ඔක්ටෙන් 92 සහ 95 පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ ඔක්ටෙන් 92 සහ 95 සඳහා ලීටරයකට රුපියල් 25ක් බැගින් බදු අයකර ඇත. මීට අමතරව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 26ක්ද, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 49ක්ද, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 40ක්ද වෙනත් ඩීසල් වර්ග සඳහා රුපියල් 24ක්ද බැගින් අධිභාර පැනවීමක් සිදුකර තිබේ.

2018 වර්ෂයේ පටන් පෙට්‍රල් සඳහා නොවෙනස් රුපියල් 35ක බද්දක් අය කෙරුණු අතර, ඒ වෙනුවෙන් අධිභාරයක් පනවා තිබුණේ නැත. ඩීසල් සඳහා මීට පෙර රුපියල් 5.85ක බද්දක් පනවා තිබුණු අතර එය පසුගිය මාර්තු මාසයේදී රුපියල් 19.95ක් දක්වා ඉහළ නංවා තිබිණි.

2020 අප්‍රේල් 22 නවතම සංශෝධනයට අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 59.26ක්වූ බදු මුදල් රුපියල් 104.81 දක්වාද රුපියල් 26.66ක්වූ බදු මුදල් රුපියල් 57.82 දක්වාද ඉහළ නැංවී ඇතැයි ජේ.බී. සිකියුරිටීස් ආයතනයේ දත්ත අනාවරණය කරයි.

 

නයන තරංග ගමගේ