News

ගත වූ දින 27දී ඩෙංගු රෝගීන් 714ක් 466කට මී උණ

දෙසැම්බර් මාසයේ ගත වූ කාලයේ පමණක් මී උණ රෝගීන් 466 දෙනකු සහ ඩෙංගු රෝගීන් 714 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එසේම ජනවාරි මස සිට දෙසැම්බර් මස 27 වැනිදා දක්වා කාලයේ ඩෙංගු රෝගීන් තිස් දහස් තුන්සිය හැත්තෑ හතක් (30377) වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙනි.

එම සංඛ්‍යාව 4212 ක් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ඉන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පමණක් රෝගීන් 1052 දෙනකු වාර්තා වී ඇත.

එසේම ජනවාරි මස සිට දෙසැම්බර් මස මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 8107ක් වාර්තා වී තිබේ.

වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1550කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 417ක් වාර්තා වී ඇත. පවතින වසංගත රෝග හමුවේ උණ රෝගය පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනු ලබයි.

වරුණි පෙරමුණ