News

ගම්පහ PHIලා පිරිසක් නිරෝධායනයට

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සිය දෙවන PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමග ඔහු සමග සේවය කළ පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05 දෙනෙක් ඔහුගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිරෝධායනය සඳහා යොමුකර ඇත.

එම ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සේවය කළ තවත් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 21 දෙනෙක් ද මේ වනවිට වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 හි සේවය කිරීම සඳහා කළුතර පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50 දෙනෙක් අනුයුක්ත කර තිබුණි.

ඔවුන්ගෙන් 28 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙක් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 22 දෙනා කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර ඇත.