News

ගල්කිස්ස වැල්ලේ වැළලූ මිලියන 890ක් මුහුදට

මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස වෙරළ කලාපය ආශ්‍රිතව වැලි පුරවා සකස් කරන ලද වෙරළ තීරය විශාල ලෙස ඛාදනයට ලක්ව ඇත.

ගල්කිස්ස හෝටලය ආසන්න වැලි පුරවන ලද මීටර් 100 ක පමණ ප්‍රදේශයක් මෙලෙස ඛාදනයට ලක්ව තිබේ.

ගල්කිස්ස, රත්මලාන, අඟුලාන සහ කළුතර, කැලිඩෝ මුහුදු කලාපය ආශ්‍රිතව වැලි පුරවා, නව වෙරළ කලාපයක් ඉදිකිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 890 කි.

ගල්කිස්ස මුහුදු කලාපය ආශ්‍රිතව වැලි කියුබ් 150,000 ක් පුරවා නව වෙරළ කලාපය සකස් කර ඇත. එලෙස සකස් කරන ලද වෙරළ කලාපය මෙලෙස ඛාදනය වීමට ලක්ව තිබේ.

මෙම වෙරළ තීරයේ වැලි පිරවීම සිදුකර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව බවද පරිසරවේදීහු පවසති.

මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මෙලෙස කියා සිටියේය.

‘‘ගල්කිස්ස වෙරළ පිරවීමට පෙර විශාල ලෙස වෙරළ ඛාදනයක් සිදුවූවා. රේල් පාරට පවා මුහුදු වතුර ගලාගෙන ආවා. ගල්කිස්ස වෙරළ තීරයේත්,රත්මලාන අඟුලාන වෙරළ තීරයේත්, කළුතර කැලිඩෝ වෙරළ තීරයේත් වැලි පිරවීම සිදුකළේ එකම ව්‍යාපෘතියක් ලෙසටයි.

ව්‍යාපෘතිය අවසන් කළේ ගල්කිස්සෙන්. ගල්කිස්ස වැලි වැටියට මුහුදු රළ වැදුණු පසු ඒ වැලි ටික වැල්ලවත්ත පැත්තට ගසාගෙන ගොස් මීටර් 15 ක පමණ වෙරළක් නිර්මාණය වන ආකාරයටයි ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ. මෙම සිද්ධියත් එවැන්නක්’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

සාලිය කුමාර ගුණසේකර