විශේෂාංග

ගැහැනියකට පිරිමියෙක් වෙන්න දැන් පුළුවන්

තමන්ට උපතින් උරුම වූ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ නොසතුටින් පසුවන්නන් සේම, එය කෙදිනක හෝ වෙනස් කරගැනීමට සිතන පිරිස් අප සමාජයේ ඇත.

විශේෂයෙන්ම මෙහිදී සිදුවන්නේ තමන් ස්ත්‍රියක වුවද, විරුද්ධ ලිංගික සිතුම් පැතුම් සමගින් ස්ත්‍රී ශරීරයක සිරව සිටීමයි. මෙය මොළය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කමක් හේතුවෙන් සිදුවන්නකි. මේ තත්ත්වය නිසා පීඩා විඳින බොහෝදෙනෙකුට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළින් ලැබිය හැකි සහනයන් තිබේ. විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මෙවර සාකච්ඡා කරන්නේ ඒ ගැනය.
කොටස් දෙකකින් සමන්විත මෙම ලිපියේ මෙවර කතාබහ කරන්නේ ස්ත්‍රියක්-පුරුෂයකු බවට පත්කළ හැකි සැත්කම සම්බන්ධයෙනි.
—————

බොහෝදෙනෙක් එළිපිට කතා කරන්න අකමැති මාතෘකාවක් මේ. කෙනෙකුගේ මනසේ මෙවැනි වෙනසක් ඇතිවෙන්නේ කොහොමද?
ඇත්තටම මෙය මොළය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කමක් නිසා ඇතිවන ක්‍රියාවක ප්‍රතිඵලයක්. මෙතැනදී මතුවෙන්නේ සමලිංගිකත්වය නෙවෙයි. මෙහිදී සිදුවන්නේ තමන්ගේ ලිංගිකත්වය ගැන තමන් කැමති නොවීමයි.

උදාහරණයක් විදිහට ගැහැනු ළමයෙක්ව ඉපදුණාට, ඇය පුංචි කාලේ ඉඳලම කැමතියි පිරිමි ළමයෙක් විදිහට වැඩ කරන්න. ඒ විදිහට අඳින්න. පිරිමි ළමයෙක් වගේ කොණ්ඩේ කොටට කපන්න. ඒත් සම්ප්‍රදාය තුළ ඇය ගැහැනුකම තුළ හිරවෙලා. එහෙම කෙනෙක් පුරුෂයෙකු සමඟ විවාහ දිවියකට පත්වුණත්, ඇයගේ සිතුවිලි තුළ ඉන්නේ පිරිමියෙක් නිසා ඒ විවාහ දිවිය අසම්පූර්ණ විය හැකියි. එත් අද වනවිට මේ තත්ත්වය වෙනස්වෙමින් තියෙනවා.

වෙනස් වෙමින් තියෙනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද?

ඉහත කිව්ව තත්ත්වය තුළ සිරවෙලා දුක් විඳිනවා වෙනුවට තමන්ට ලැබුණු ජානමය ලිංගිකත්වය වෙනස් කරගැනීමේ හැකියාව අද වනවිට තිබෙනවා. මෙතැනදී ඒ තමන්ගේ අපේක්ෂාව බිඳ වැටුණොත් එය මානසික අර්බුදයක් දක්වා ගමන් කරනවා. අද මෙය ලිංගික ප්‍රවණතාවක්. ගැහැනිය ගැහැනියක් ලෙස නොසිට පිරිමි බවට පත්ව ඒ අනුව ඉදිරි ජීවිතය පවත්වා ගෙන යාමකුයි මෙහිදී සිදුවෙන්නේ. කෙසේ නමුත් මෙය මානසික අර්බුදයක් නිසා, සැත්කමකට පෙර මානසික වෛද්‍යවරයෙකුට මුලින්ම යොමු වීම වැදගත් වෙනවා.

එතැනදී මොන වගේ උපදේශනයක්ද ලැබෙන්නේ?

ඇත්තටම මේ කියන අවශ්‍යතාවය ඇතිවන්නේ ඉහත ආකාරයේ මානසික විපර්යාසයක් නිසාද කියනෙක ප්‍රථමයෙන් විමසා බැලිය යුතුයි. රෝගියාගේ අවශ්‍යතාවය අනුව උපදේශනය වැදගත්. කොහොම නමුත් ඇයගේ අවශ්‍යතාවය සනාථ වූ පසු හොර්මෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතයි යොමු කළ යුත්තේ.

එතැනදි මොන වගේ කාර්යයක්ද සිදුවෙන්නේ?

මෙහිදී අදාළ කාන්තාවගේ කාන්තා ලක්ෂණ වෙනුවට පිරිමියෙකුගේ ස්වරුපය ගන්න කළ යුතු හෝර්මොන ක්‍රියාවලියක් තියෙනවා. ටෙස්ටස්ටෙරෝන් කියන පිරිමි හොර්මෝනය එන්නත් කළ විට පිරිමි ලක්ෂණ එන්න ගන්නවා. මෙතැනදී අදාළ අය බාහිර ස්වරූපයෙනුත් පිරිමි අයෙක් ලෙස ඇඳුම් ඇඳීම, කොණ්ඩය කොටට කැපීම ආදිය කරනවා. මෙතැනදී අවුරුදු දෙකක් පමණ මේ හෝර්මෝන එන්නත් ක්‍රියාවලිය සිදු කරනවා. මොකද ඒ අතරතුර අදාළ අයට නැවත කාන්තාවක ලෙස පෙනී ඉන්න එක හොඳයි කියලා හිතෙන අවස්ථාත් තිබෙන්න පුළුවන්. ඒ නිසායි සැත්කම කරන්න කලින් එම අදහස වෙනස් කරගන්න ඕන නම් වසර දෙකක කාලයක් ලබාදීලා තියෙන්නේ. ඒ වගේම මෙම හෝර්මෝන එන්නත් ක්‍රියාවලිය නතර කළ විට අදාළ අයගේ ගැහැනු පෙනුම යළි එනවා.

මෙම ශල්‍යකර්මය ඕන කරන අයෙකුගේ ඊළඟ පියවර මොකක්ද?

මෙයට ශල්‍යකර්ම කිහිපයක් තියෙනවා. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු, මෞත්‍ර ලිංගික පද්ධතිය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු වගේම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාටත් යම් කාර්යභාර්යයක් පැවරෙනවා. නාරි හා ප්‍රසව වෛද්‍යවරයා තමයි ගර්භාෂය ඉවත් කරන්නේ. ඒ වගේම ඩිම්බකෝෂ ඉවත් කරලා ස්ත්‍රී හෝර්මෝන ශ්‍රාවය වීමද නවතිනවා. මෙම සැත්කම් ක්‍රියාවලිය සිදුවන්නේ අදියර කිහිපයකින් මෞත්‍ර ලිංගික පද්ධතිය සම්බන්ධ වෛද්‍යවරයා ඇතුළු ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින්. ශිෂ්ණය බද්ධ කිරීම, වෘෂණ කෝෂ සැකසීම ඇතුළු බාහිරව පෙනෙන්නට තිබෙන කාර්යයේදී ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ දායකත්වය ලබාගත යුතු වෙනවා. ඊට අමතරව අවශ්‍ය නම් උගුරු දණ්ඩ වුවත් සැකසිය හැකියි. එසේම මුහුණේ සම්පූර්ණ පෙනුමද වෙනස් කිරීම කළ හැකියි. හැබැයි මෙම වෙනස සදාකාලිකයි. ආයේ වෙනස් කරන්න බෑ.

මෙහිදී අලුත් ලිංගේන්ද්‍රයක් සකසන එක සංකීර්ණ ක්‍රියාවලියක්ද?

ඔව්. ඊට පැය ගණනාවක් වැය වෙනවා. එයට මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍යවරයා වගේම, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා අවශ්‍යයි. එහිදී පුරුෂ ලිංගේන්ද්‍රය හදන්න අතේ බාහුවෙන් හෝ කලව ප්‍රදේශයෙන් පටක, ස්නායු හා ලේ නහර ලබාගන්නවා. මේ කොටස් අරන් බද්ධ කිරීම කළ හැකියි. අනතුරුව මුත්‍රා මාර්ගයක් හදලා කෘතිමව වෘෂණ කෝෂත් සකසනවා.
කෙසේ නමුත් මෙය අභියෝගාත්මක ශල්‍යකර්මයක්. මෙතැනදී 100% ක් දැනීම තිබෙන ලිංගේන්ද්‍රයක් හදන්න බැහැ. උදාහරණ විදිහට මුත්‍රා පිටවීම අක්‍රමවත් විය හැකියි. තුවාල පැසවන්න, සංකූලතා ඇතිවීමටද ඉඩක් තියෙනවා. මේ සැත්කම කරලා ආයේ ටික දවසක් ගිහින් ආපිට හැරෙන්න පුළුවන්කමක් නෑ කියලා මුලදිම කිව්වේ ඒකයි.

මෙවැනි සැත්කමකදී තවදුරටත් සැලකිලිමත් විය යුතු කාරණා මොනවද?

මෙම ශල්‍යකර්මය කරද්දී සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමකින් සහාය ලබාගැනීම ඉතා වැදගත්. මෙම ශල්‍යකර්මය අඩු මුදලකින් කරගන්න විදෙස්ගත වෙන අය (බැංකොක් වගේ) ඉන්නවා. ලාභ වුණත් සැත්කම හරියට සිදුවෙලා නැත්නම්, ඊළඟට සංකූලතා මතුවෙනවා. මෙම සැත්කමේ ප්‍රමිතිය ගැන හිතන්න ඕන.

ඒ වගේම මෙවැනි සැත්කමක් කළාට ශුක්‍රාණු නිපදවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසාම දරු උපතක් බලාපොරොත්තු වෙන්න බැහැ.
කොහොම නමුත් ලිංගික ක්‍රියාවලිය පහසු කරවීම සඳහා නව ලිංගේන්ද්‍රයට දෘඪ සිලිකන් බටයක් (Silicone Prosthesis) සැත්කමෙන් සවිකරනු ලබනවා. මෙය ලිංගික ක්‍රියාවලියට පහසුවක්.

කොහොම නමුත් කෙනෙකුට මෙය පහසු කාර්යයක් නෙවෙයි. සමාජය වපර ඇසින් බලනවා. ඒත් තමන් ගැහැනු ශරීරයකින් මිදෙනවද, එහෙමත් නැත්නම් හිටපු ආකාරයෙන් දිගටම ජීවත්වෙනවද කියනෙක අදාළ කාන්තාවට තීරණය කළ හැකියි. සැත්කම කළ හැකි වුවත්, මේ ගැටළුකාරී තත්ත්වය ඔවුන්ට පළමුවෙන්ම අවබෝධ කරදෙනවා.

දීපා වසන්ති එදිරිසිංහ