ගුවන් හමුදා නිලධාරීන් පාසල් ගුරුවරු කරන්න අනුමැතිය දී නෑ
පාසල්වල ඉගැන්වීම සඳහා ගුවන් හමුදා නිලධාරීන් ගුරුවරුන් බවට පත් කිරීමට දැනට අනුමැතියක් ලබා දී නැතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ඇතැම් පාසල්වල ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා ගුවන් හමුදා නිලධාරීන් යොදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාවක් පළ කර ඇත්දැයි මාතලේ දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැතිවරයා තමන් දන්නා ආකාරයට ගුවන් හමුදා නිලධාරීන්ට එවැනි පත්වීම් ලබා දීමට තීරණයක් ගෙන නැතැයි කීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සොයා බලන බවද මන්ත්‍රීවරියට කී ඇමැතිවරයා අනුරාධපුර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඉංග්‍රීසි සහ ගණිත විෂයට අදාළ ගුරු හිඟය පියවීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් තාවකාලික ලෙස කොන්ත්‍රාත් පදනම යටතේ යොදා ගැනීමට කටයුතු කරන බවය.
අජිත් අලහකෝන්
