ඉවුම් පිහුම්

චොක්ලට් මූස්

Chocolate Mousse
චොක්ලට් මූස්
(රෙසිපිය – රසවත් අඩවිය ෆේස්බුක් සමූහයේ නිසංසලා ජයසේකරගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය
ඩාර්ක් කුකින් චොක්ලට් 200g
විපින් ක්‍රීම් 400g

සාදාගන්නා ආකාරය
ඩාර්ක් කුකින් චොකලට් ඩබල් බොයිල් කරන්න.
එය දියවනවිට විපින් ක්‍රීම් 100ml මිශ්‍ර කරන්න.
හොඳින් මිශ්‍ර වූ පසු විනාඩි පහක් පමණ නිවෙන්න තබන්න.
ඉතිරි විපින් ක්‍රීම් 300ml ඝන වනතුරු බීට් කරගන්න.
එයට කලින් සාදාගත් මිශ්‍රණය දමා විනාඩියක් පමණ හොඳින් බීට් කරගන්න.
කැමති ආකාරයෙන් භාජනවලට දමා ශීතකරණයේ පැයක් පමණ තබා පිලිගන්වන්න.
————————-
Biscuit Pudding
බිස්කට් පුඩින්
(රෙසිපිය – රසවත් අඩවිය ෆේස්බුක් සමූහයේ සචින්තනා අමරසිංහගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය
විපින් ක්‍රීම් 200ml
මාරි බිස්කට් පොඩි පැකට් 2
චොක්ලට් පවුඩර් මේස හැඳි 2
අයිසින් ෂුගර් මේස හැඳි 5
උණු කිරි වීදුරු 1

සාදාගන්නා ආකාරය
බීටර් එකේ hooks සහ බීට් කරන්න භාවිතා කරන භාජනය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා කූල් කරගන්න.
විපින් ක්‍රීම්වලට චොකලට් පවුඩර් සහ අයිසින් ශුගර් දමා පීක්ස් එනතුරු හොදින් බීට් කරගන්න.
මාරි බිස්කට් උණු කිරිවල පොඟවා ලේයර් එකක් ආකාරයට භාජනයක අතුරා ගන්න.
එයට උඩින් විපින් ක්‍රීම් ලේයර් එකක් දමා ගන්න.
මේ ආකාරයට මාරුවෙන් මාරුවට බිස්කට් සහ විපින් ක්‍රීම් ලේයර්ස් අතුරාගන්න.
ශීතකරණයේ විනාඩි 30ක් පමණ තබා පිලිගන්වන්න.
(ලේයර්ස් මැදට රෝස්ට් කළ කජු, වියළි පලතුරු කැබලි, රේසින්ස් වැනි දෑ එකතු කරගත හැකිය.)

——————-
Jelly Custard with Fruits
ජෙලි කස්ටඩ් විත් ෆෘට්ස්
(රෙසිපිය – රසවත් අඩවිය ෆේස්බුක් සමූහයේ රොවීනා පෙරේරාගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලි පැකට් 1
කස්ටඩ් පවුඩර් මේස හැඳි 2
කිරි කප් 2
සීනි මේස හැඳි 2
පලතුරු කෑලි

සාදාගන්නා ආකාරය
ජෙලි පැකට් එකේ සඳහන් ආකාරයට සකසා භාජනවල දමා ශීතකරණයේ තබන්න.
කස්ටඩ් පවුඩර්වලට කිරි ටිකක් දමා දියකර ගන්න.
ඉතිරි කිරිවලට සීනි දමාගන්න.
එය ලිපේ තබා උණුකර ගන්න.
කස්ටඩ් ටික ටික දමා හොඳින් කලවම් කරන්න.
ඝන මිශ්‍රණයක් ආ පසු ලිපෙන් බා නිවෙන්න තබන්න.
සෙට් වූ ජෙලි උඩින් සාදාගත් කස්ටඩ් දමා ශීතකරණයේ පැයක් පමණ තබන්න.
පලතුරු කැබලි උඩින් දමා නැවතත් ශීතකරණයේ තබන්න.
———————-
Mini Cheese Cake
මිනි චීස් කේක්
(රෙසිපිය – රසවත් අඩවිය ෆේස්බුක් සමූහයේ රුශානි රෙෂිකාගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 100g
බටර් මේස හැඳි 3
ක්‍රීම් චීස් 200g
විපින් ක්‍රීම් 450ml

සාදාගන්නා ආකාරය
බටර් ටික දියකර ගන්න.
බිස්කට් හොඳින් කුඩු කරගෙන බටර් සමග කලවම් කර කේක් සෑදීමට ගන්නා භාජනයට/භාජනවලට දමා හොඳින් තදකර ගන්න.
එය ශීතකරණයේ තබන්න.
විපින් ක්‍රීම් ටික සොෆ්ට් පීක් එනතුරු බීට් කරන්න. (පැණි රස මදි නම් සීනි හෝ අයිසින් ෂුගර් ටිකක් එකතු කරගන්න.)
ක්‍රීම් චීස් ටිකත් විනාඩියක් පමණ බීට් කරගන්න.
දෙකම එකට මිශ්‍රකර විනාඩියක් පමණ බීට් කරගන්න.
කැමති ආහාර වර්ණකයක් දැන් එකතු කරගත හැකියි.
මෙය ශීතකරණයේ තැබූ බිස්කට් ලේයර් එක උඩට දමා තුනීකර ශීතකරණයේ පැය 6ක් පමණ තබා පිලිගන්වන්න.
————————
Ice cream Sandwich
අයිස්ක්‍රීම් ‍සැන්ඩ්විච්
(රෙසිපිය – රසවත් අඩවිය ෆේස්බුක් සමූහයේ රශාන්ති කුමානායකගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය
හෙවි විපින් ක්‍රීම් 250ml
වැනිලා/එසන්ස් වර්ගයක්
කොටු හැඩැති මිල්ක් බිස්කට්/චොක්ලට් බිස්කට්

සාදාගන්නා ආකාරය
තැටියක හෝ හතරැස් පෙට්ටියක බිස්කට් අතුරාගන්න. (පොඩි පෙට්ටි භාවිතය පහසුයි)
විපින් ක්‍රීම්වලට වැනිලා/එසන්ස් දමා හොඳින් බීට් කරගන්න.
එය බිස්කට් උඩින් තරමක් උස ආකාරයට සිටින සේ අතුරාගන්න.
යට බිස්කට් ඇසිරූ ආකාරයටම විපින් ක්‍රීම් තට්ටුව උඩින්ද බිස්කට් සමාන ආකාරයට අතුරාගන්න.
මෙය ශීතකරණයේ උඩ කොටසේ පැය දෙකක් පමණ තබන්න.
එළියට අරගෙන වටේට පිහිතලයක් ආධාරයෙන් කැපුමක් දමා අනිත් පස හරවා කෑලි කපාගන්න.
කපාගත් කෑලි පැය අටක් පමණ ශීතකරණයේ උඩ කොටසේ තබන්න.