News

ජනපති අද 19 වැනි පාර්ලිමේන්තුව විවෘත කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද (20 වැනිදා) පස්වරු 3.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකරයි.

නව පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කළ පසු ජනාධිපතිවරයා මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

සාමාන්‍යයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරයක් විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයාට රථ පෙළපාලි සහ ආචාර වෙඩිමුර සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර පුද කිරීම සිදු කරනු ලබයි. එහෙත් තමන් පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සහ ආචාර වෙඩි මුර, රථ පෙළපාළි නොපවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇත.

ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අාචාර දැක්වීමක් පමණක් ජනාධිපතිවරයා වෙනුවෙන් සිදු කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු සභා වාරය විවෘත කිරීමේ උළෙලට ප. ව 02 .15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වේ. අනතුරුව නව කථානායකවරයා පැමිණීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුවය.

එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනී.

වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගනිමින් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලබයි. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කිරීමට නියමිතය.

ඉන්පසුව සභාව වෙත පැමිණෙන ජනාධිපතිවරයා මුලසුනේ අසුන්ගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. එය අවසන්වූ පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව 21 වැනිදා දක්වා කල් තැබීම සිදුකරයි.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට පෙරාතුව අද (20 වැනිදා) පෙරවරු 9.30 ට නව කාථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම සිදු කරති. නියෝජ්‍ය කථානායකවරයකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අනතුරුව සිදුවේ.

අජිත් අලහකෝන්