News

ජනපති පත් කළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නේ නෑ

රාජ්‍ය ආයතනවලට පත් කර ඇති සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පෙරේදා (11 වැනිදා) මේ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයට පත්වූ පසු විශේෂ මණ්ඩලයක් මගින් රාජ්‍ය ​ආයතන සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන ලදී. දැනට පත් කර ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නේ නම් ජනාධිපතිවරයාගෙන් විමසා සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළ ලිපියේ දැක්වේ.

පත්කර ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැටුප්, ඉන්ධන දීමනාවලට සීමා පනවමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කරන ලදී.

 

උදයජීව ඒකනායක