News

ජනපති පළමු පදවි ප්‍රාප්තිය දා රටම එලිය කරන වැඩක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු පදවි ප්‍රාප්තිය සැමරීමට සමගාමීව එළැඹෙන නොවැම්බර් 17 වැනිදා කෙරවළවපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාරයේ (LNG Plant) ඉදිකිරීම් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි. මෙගාවොට් 300ක විදුලිය ජාතික විදුලිබල පද්දතියට එක්කෙරෙන මෙම නව විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව 2013දී නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය ඉදිකිරීමෙන් අනතුරුව මෙරට ඉදිකිරීම් ආරම්භ කරන පළමු විදුලි බලාගාරය වන්නේ මෙයයි. මෙම මතභේදාත්මක ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වසර 02ක කාලයක් ප්‍රමාද වූ අතර ඊට හේතු වූයේ කොන්ත්‍රාත් ප්‍රදානයට අදාළ ගැටලුය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග මෙම ව්‍යාපෘතිය ආණ්ඩු 02ක කැබිනට් මණ්ඩල විසින් 23 වතාවක් සමාලෝචනයට ලක්කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලක්දනව් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ව්‍යාපෘතිය යටතේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමටද ඉදිරි සතියේ අත්සන් තැබීමට නියමිත බවද විදුලිබල මණ්ඩල වාර්තා සඳහන් කරයි. ලක්දනව් පෞද්ගලික සමාගම වෙත මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව රජය විසින් පිරිනමන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය.

නයන තරංග ගමගේ