Top Story

ජනපති සහ කථානායක අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (31) සවස කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳවද මෙහිදී කතානායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රමාත්‍ය ධුරයේ සිදුකළ වෙනස්කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව යාම තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින පසුබිමකයි.

මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ සහ ආණ්ඩුවේ ඇති වූ වෙනසෙහි නීත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම නීතිපති භූමිකාවට යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයා‍ වෙත දන්වා යවා තිබේ.‍ෙ

රට තුළ මතුව ඇති දේශපාලන වාතාවරණයට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබුණේය.

ඊට ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කළ නීතිපති ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දී ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇති වූ වෙනසෙහි නීත්‍යනුකූලභාවය පිළිබඳව, නීතිපති භූමිකාවට අනුකූලව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම නීත්‍යනුකූල බව පසුගිය 27 වැනිදා එවකට වැඩබලන නීතිපතිවරයා විසින් කතානායකවරයා වෙත යවන ලද ඊ මේල් පණිවිඩයක සඳහන් කරුණු දැක්වීමකින්ද සනාථ වන බව නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (30) පැවසුවාය.

(ලිවේරා මහත්මයාණෙනි, පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් ඔබගේ මතය දැනගැනීමට මම කැමත්තෙන් පසුවෙනවා.

පළමුවැන්න,
ඔබත් දන්නා පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන්නා.

දෙවැන්න,
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේනදයක් නිකුත් කළා, තවදුරටත් අග්‍රාමාත්‍ය කාර්යාලය අයිතියි කියලා. කරුණාකර නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න.

ගරු කතානායකතුමනි,ඔබ එවූ ලිපිය සම්බන්ධයෙනි.

මම ඔබේ අවධානය යොමු කරනවා ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදන පිළිබඳව. ජනාධිපති නියමයෙන් ජනාධිපති ලේකම් නිකුත් කර තිබෙන 2094/43 සහ 2094/44 යන ගැසට් නිවේදන. තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (I) දරණ වගන්තිය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. )