ජනවාරි මාසයේත් පක්ෂ නායකත්වය රනිල්ට
ලබන වසරේ ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව වාර්තා වෙයි.
වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වයන් මත පළපුරුදු නායකත්වයක් තරුණ නායකයින් සමග එක්ව මෙහෙයවිය යුතු බවට ජ්‍යෙෂ්ඨයින්ගේ ඉල්ලීම මත මෙම පියවර ගැනීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ඔහු මීට පෙර දැනුම් දී තිබුණි. පක්ෂ නායකත්වයේ රැඳී සිටියද උපදෙස් හා නායකත්වය පමණක් ලබා දීමටද බිම් මට්ටමේ සියලු සංවිධාන කටයුතු තරුණ නායකයින්ට ලබා දීමටද රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
කෙසේ වෙතත් පක්ෂයේ මේ වන විට පුරප්පාඩු වී ඇති ප්‍රධාන තනතුරුවලට සුදුස්සන් ඉදිරි දෙසතිය තුළ නම් කිරීමටද නියමිතය. පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් දෙසැම්බර් මස මැද භාගයේ දී පවත්වා සුදුස්සන් තෝරා පත් කරගන්නා බව පක්ෂ නායකත්වය දැනුම් දී ඇත.
මෙහි දී නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කර උප නායක තනතුර අහෝසි කිරීමටද අවධානය යොමු කර ඇත. පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉවත් වුවහොත් ඔහුට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනැමීමට පක්ෂ නායකත්වය සැලැසුම් කර තිබේ. එම නිසා මහලේකම් ධුරයට සාගල රත්නායක මහතා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
උදයජීව ඒකනායක
