ජාත්‍යන්තර හෙද දිනය අදයි
ලොව පුරා හෙද හෙදියන් සෑම වසරකම මැයි 12 දින ජාත්‍යන්තර හෙද දිනය අදට යෙදී තිබේ.
හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් “ෆ්ලොරන්ස් නයිටිංගේල්” මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ සුවිශේෂිතාවයක් වන්නේ ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ 200 වැනි ජන්ම දිනය ද යෙදී තිබීමයි. ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් මෙම වර්ෂය සදහා සුවිශේෂි තේමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම තේමාව “ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටුවීම සදහා හෙදියන් ලෙස හඩ නගමු” යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය “හෙද සහ පවුල් සෞඛ්‍ය වර්ෂය” ලෙස නම් කර ඇත. සෞඛ්‍ය සේවා සපයන්නියක, දුක් පීඩා නිවන්නියක, ගුරුවරියක, මැදිහත්කාරියක මෙන්ම දූරදර්ශී නායිකාවකගේ භූමිකාවක් අවස්ථානෝචිතව රඟ දක්වමින් හෙදියන් විසින් ගෝලීය සෞඛ්‍ය අභිවර්ධනය කිරිමට දායක වනු ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ අපේක්ෂාව වේ.
වර්තමානයේ COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ දී ලොව විශාලම සෞඛ්‍ය බලකාය වන හෙද හෙදියන්ගේ දායකත්වය විශාල වශයෙන් ලබාදෙනු ලබයි. මෙරට සෞඛ්‍ය සේවාව තුල ද 36,000 වන හෙද නිලධාරීන්, හෙද සොයුර සොයුරියන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුර සොයුරියන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මෙම වෙරසය මැඩපැවැත්වීම, පාලනය, පරීක්ෂණ, රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා සෘජු දායකත්වයක් ලබාදෙනු ලබයි.
සෑම වර්ෂයකම ජාත්‍යන්තර හෙද දිනය ඉහළින්ම සැමරීමට කටයුතු යෙදුන ද මෙවර Covid -19 වෛරස තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හෙද සැමරුම් උත්සවයක් මෙරට නොපැවැත්වෙන බවත් Covid -19 ප්‍රතිකාර සේවාවන් මූලික කොටගෙන කටයුතු කරන බවත් හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මිය ප්‍රකාශ කරයි. නමුත් ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ද උපදෙස් මත හෙද සේවාවේ නිරත සෞඛ්‍ය කර්ය මණ්ඩල වලට ගෞරවයක් හා අභිමානයක් එක් කිරිමේ අරමුණින් හෙද ගීතයක් නිර්මාණය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද හෙද අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කරයි.
හෙද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් නිර්මාණය කරන ලද එම ගීතය සියළු මාධ්‍ය ආයතන සදහා ලබාදීමට ද කටයුතු සුදානම් කර ඇති බවද එතුමිය සදහන් කරයි.
