නවතම ප්‍රවෘත්ති

ජැක් ගැහුවොත් නඩු!

මෙරට කාන්තාවන් හා ළමයින් ගැන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන ලද අධ්‍යනයකට අනුව පොදු ප්‍රවාහන සේවා වල දී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් ජීවිතයේ එක් වරෙක හෝ විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වෙලා තියෙනවා.
බස් එකේ කෝච්චියේ යද්දි මේ වගේ අපහසුතා වලට ලක්වුණු අත්දැකීම් ඔබටත් ඇති. සමහරවිට මෙවැනි අවස්ථා වලට විරුද්ධව වචනයක් කිව නොහැකි තරම් අසරණභාවයට පත්වුණු අමිහිරි අත්දැකීම් ඔබව දැනටත් මානසිකව කම්පා කරවනවා ඇති.

90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.

මෙම තත්ත්වය යටතේ පසුගිය හත් වැනිදා සිට රහසිගත කැමරාවක් ද සහිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිළධාරීන් යොදවා ගෙන විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.බසයේ දී කාන්තාවකට හිංසනයක් වනු දුටුවොත් සිවිල් ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරියා කාන්තාව අසලට පැමිණ ඒ පිළිබඳ විමසීමක් කරන අතර පුද්ගලයාව අත්අඩංගුවට පත් වන්නේ ඇයගේ ප්‍රකාශය අනුවයි. තමා අපහසුතාවට ලක්වුණු බව කාන්තාව ප්‍රකාශ කරනවා නම් එම පුද්ගලයා අත්අඩංගුවට පත් වෙනවා. මේ මෙහෙයුම සඳහා පොලිස් නිල ඇඳුම් සහිත නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. එපමණක් නෙවෙයි මගී ප්‍රවාහන රථයේ කොන්දොස්තරවරයාට සහ රියදුරාටත් තම ගමන් වාරයෙන් පසු පොලීසියට පැමිණ කටඋත්තරයක් දීමට සිදු වනවා.

පොදු ප්‍රවාහන සේවයේ දී යම් අපහසුතාවකට ලක් වීමට සිදු වුණොත් කිසිඳු ගාස්තුවකින් තොරව 109 අංකයට අමතා පැමිණිලි කිරීමේ හැකියාවත් ඔබට තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව මෙම වරද සඳහා දඬුවම් ලැබෙනවා නිසා නිදන ඇඳයි පොදු ප්‍රවාහනයයි පටළ ගත්ත අයට අවුරුදු පහක සිරබත් සංග්‍රහයක් ලබාගන්න පුලුවන්.

මෙම මෙහෙයුමේ ප්‍රධානියා වන්නේ පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දරයි.

සටහන : දිල්මිකා අත්තනායක
මූලාශ්‍රය : සති අග අරුණ