තනතුරට සමුදෙන්නෙ මේ රෝහලටත්, රටේ ජනතාවටත් ලොකු වැඩ කොටසක් කරලමයි ….. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු, වෛද්‍ය නීලුකා අබේසේකර
වසර 12ක කාලයක් (2006 – 2018) පුරාවට ලොව විශාලතම ආහාර සහ පානීය නිෂ්පාදන සමාගමක් වන PepsiCo සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළේ ඉන්ද්‍රා නූයිය. ඒ කාලය තුළ එම PepsiCo සමාගම දැවැන්ත මූල්‍ය වර්ධනයක්, ව්‍යාපාරික ප්රතිසංවිධානයක් මෙන්ම ගෝලීය වෙෙළඳපොළ තුළ විශාල ස්ථාවරත්වයක් අත්කරගත් අතර, කාන්තාවක් ලෙස ඉන්ද්‍රා එතරම් සාර්ථකව එම සමාගම මෙහෙයවූයේ කෙසේද යන්න වරක් ඇගෙන් මාධ්‍ය විමසා තිබුණි. එහිදී ඇය පවසා තිබුණේ නායකයෙක් වීමට පිරිමියකු විය යුතු නැති බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ දැක්මක්, කැපවීමක් සහ ඉදිරියට යාමට ඇති ධෛර්යය පමණක් බවයි. මීට වසර කීපයකට පෙර ඉන්ද්‍රා පැවසූ කතාවට උදාහරණයන් වෙමින් ලොව ප්‍රසිද්ධ ආයතන සහ සමාගම්වල මුල් පුටුවට පත්ව, ඒවා ඉතා සාර්ථක අන්දමින් මෙහෙයවන කාන්තා චරිත ගණනාවක්ම මෑතකාලයේ අපට දැකගන්නට ලැබේ. එවැනිම පත්වීමක් දැනට මසකට පමණ ඉහතදී මෙරටෙන්ද වාර්තා වූ අතර, ඒ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහලෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට එයාර් කොමදෝරු, වෛද්‍ය නීලුකා අබේසේකර මහත්මිය පත්වීමයි. ඇගේ එම පත්වීම සම්බන්ධයෙන් සිදුකළ කතාබහක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
ඒ 2013 අප්‍රේල් 05 වැනිදාය. එදින මෙරට වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට වටිනා දායාදයක් තිළිණ කළේය. ඒ කොළඹට නුදුරුව මාලබේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලයි. දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණු පහසුකම් සැපයීමේ සහ මහජනතාවට සහනදායී මිලකට උසස් අන්දමින් වෛද්‍ය සේවා සැපයීමේ අරමුණ පෙරදැරිව ඉදිකළ එය සැලකුණේ ශ්‍රී ලංකාවේ ආරම්භ කළ පළමු පෞද්ගලික ශික්ෂණ රෝහල ලෙසිනි. එතැන් පටන් එහි නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ පැවති රෝහල, 2017 දී එකල පැවති සයිටම් (SAITM) අර්බුදයට විසඳුමක් ලෙස ඔහු රජයට පවරනු ලැබීය. මේ වනවිට එහි පූර්ණ අයිතිය රජය සතුවන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ එහි එදිනෙදා පරිපාලන හා මෙහෙයුම් කටයුතු සිදුකිරීම පවරා තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය. ඒ, මේ වසරේ (2026) පටන්ය. මෙම නව මෙහෙයුම් රාමුව යටතේ පසුගියදා ඊට ප්‍රධාන විධායක නිලධාරීවරියක පත්වූ අතර, ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු, වෛද්‍ය නීලුකා අබේසේකරයි. 60 හැවිරිදි ඇය මේ වනවිට ගුවන් හමුදාවේ වසර 32කට ආසන්න අත්දැකීම් සහිත වෛද්‍යවරියකි.
“මම මේ තනතුරට පත්වෙලා දැන් මාසයක කාලයක් වෙනවා. ඕනෑම ආයතනයක හෝ සමාගමක ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර කියන්නේ ලොකු වගකීමක් තියෙන තනතුරක්. සමස්ත කළමනාකරණය වගේම මෙහෙයුම් කටයුතු පිළිබඳව සියලුම වගකීම් දරන්න ඕන ප්‍රධාන විධායක නිලධාරීවරයා. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීම ගැන ඇත්තටම මට සතුටුයි. ඒක මගේ ජීවිතයේ මං ලබපු ලොකු ජයග්‍රහණයක්. හැබැයි මේ තනතුර තුළ තියෙන වගකීම් සමුදාය එක්ක ඒක ටිකක් අභියෝගාත්මක තනතුරක් කිව්වොත් හරි. ඒත් මම හිතනවා මට ඒ අභියෝගවලට සාර්ථකව මුහුණදීලා මේ රෝහල දැන් තියෙන තත්ත්වයෙන් තවත් ඉහළට අරගෙන යන්න පුළුවන් කියලා.”
රුවන් එස්. සෙනවිරත්න
