නවතම ප්‍රවෘත්ති

ත්‍රිරෝද රථවල කොටස් ගැලවූ දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ නැවතුම් අංගනයක ත්‍රීරෝද රථවල බැටරි හා කැසට් යන්ත්‍ර සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයකට කල්බදු නොගෙවීම නිසා අත්පත් කරගත් ත්‍රීරෝද රථ කිහිපයක් අදාළ අංගනයේ නවතා තිබී ඇති අතර සැකකරුවන් අවස්ථා දෙකකදී ත්‍රීරෝද රථවල සවිකර තිබූ බැටරි හතරක් කැසට් යන්ත්‍රයක් සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් තරුණයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරුවලට අනුව සොරාගත් භාණ්ඩ කිහිපයක් පරණ බඩු විකුණන ස්ථානයක තිබී සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සැකකරුවන් අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද සැකකරුවන් සිවුදෙනා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහිවී සිටින බවද පොලිසිය  පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජී.විදානගමගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන 16446, දේශප්‍රිය 35525, කුමාර 47852 යන නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.