Latest News

තුන්වතාවක් කොළඹ ආවත් බදියුදීන්ගේ ගෙදරින් දුව බලන්න දෙන්න බෑ කිව්වා

ඉෂාලිනී ජූඩ් කුමාර් දියණිය මේ වනවිට ජීවතුන් අතර නොමැත. දාසය හැවිරිදි දැරියක වූ ඇය, ඉකුත් ජූලි තුන්වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නේ දැඩි පිළිස්සුම් තුවාල සහිතවය.

ළමා මෙහෙකාරියක ලෙස ඇය 2020 නොවැම්බර් මාසයේ දිනක, පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ රැකියාව ලැබූ අතර, ඇය පිළිස්සුම් තුවාල ලබන්නේද එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටියදීය.

මෙම මරණයට පදනම් වූ හේතු කාරණා පිළිබඳව විමර්ශණය කෙරෙන අතර, බාල වයස්කාරියක වන ඉෂාලිනීට, අම්මාට කියාගන්නට බැරිවූ කතාව කුමක් විය හැකිද? මෙම සටහන ඒ වෙනුවෙනි.

—————-

ඒ ඉකුත් නොවැම්බරයේ දිනකි. ඉෂාලිනී තම ඇඳුම් කැඩුම් කිහිපය බෑගයක දමාගත්තේ පහුවදාට ​කොළඹ යන ගමන ගැන සිතමිනි. ගෙදර නංගිලා වෙනුවෙන් බතක් මාලුවක් පිළියෙල කරන්නට හැකියාව තිබුණද, මන්ත්‍රී මහත්තයාගේ ගෙදරදී තමන්ට පැවරෙන වැඩ කොටස ගැන ඉෂාලිනී කිසිවක් නොදත්තාය.

ඉෂාලිනීලා හැටන් ඩයගමට ඒමට පෙර පදිංචිව සිටියේ, අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේය. එහි දමිළ පාසලක ඉගෙනුම ලැබූ ඇය හත වසර පන්තියේදී ​ඉගෙනුමට සමුදුන්නේ ඔවුන් පදිංචිය මාරු කිරීමත්, ඒ දිනවල තිබූ අගහිඟකමුත් හේතුවෙනි. ඉෂාලිනීගේ තාත්තා හෝටලයක කෝකියෙකු ලෙස රැකියාව කළ අතර, හැටන් ගියහොත් කරනවාට වඩා හොඳින් රැකියාව කරන්නට හැකිවේ යැයි ඔහු සිතුවේය.

එහෙත් දවසින් දවසම අගහිඟකම් වැඩිවූවා පමණි. ඉෂාලිනීගේ අම්මා දරුවන් සයදෙනෙකු සමඟ ඒ ජීවන බරට උරදීගත නොහැකිව ලතැවෙන අයුරු බලා සිටීමට පවුලේ තෙවන දරුවා ලෙස ඉෂාලිනීට හැකි වූයේ නැත.

‘‘ඇත්තටම කොරෝනා රෝගය අවාට පස්සේ අපි ගොඩක් ණය වුණා. තිබුණ රත්තරන් බඩුත් උකස් තිබ්බා. පුතත් කොළඹ රැකියාවකට ගියා. ඒත් ගෙදර කන්න බොන්න පවා අපට ණය වෙන්න සිද්ධ වුණා. කොහොමහරි ණය ගෙවාගන්න ඕන නිසා මම ගෙදරක වැඩට යන්න හදද්දි තමයි දුව ඒ වගකීම බාරගත්තේ. එයා පවුලේ සතුට ගැන, හෙට දවස ගැන හිතපු රත්තරං දුවෙක්.’’

ඒ රාජමාණික්කම් රංජනී ය. සිය දියණිය කොළඹට එන දවසේ, තැරැව්කරු සමඟ රංජනීත්, ඉෂාලිනීගේ පියා වන ජෙයරාම් ජූඩ් කුමාරත් පැමිණියද ඉන්පසු ගතවූ මාස කිහිපයටම දියණිය එක්වරක් හෝ දකින්නට ඔවුනට අවසරයක් ​නොලැබිණි. කතා කළේද මාසෙට එක්වරක් හෝ දෙවරකි. රුපියල් විසිපන් දහසක වැටුපක් දෙන්නම් යැයි කීවත් එය විසි දහස දක්වා අඩු වූයේය.

‘‘දුව අන්තිමට කතා කළේ ජූනි මාසේ අන්තිම සතියේ. එදා එයා නොසන්සුන්ව ඉන්න බව තේරුණා. එයාට ඒ ගෙදර ඉන්න බෑ කරදරයි කිව්වා. කොස්සෙනුත් ගැහුවා කිව්වා. දුව අපට කතා කරන්නේ බදියුදීන් මහත්තයගේ ගෙදර වැඩ කරන සේවකයෙකුගේ ෆෝන් එක ඉල්ලගෙනයි. ඔහුත් ෆෝන් එක හොරකං කළා කියලා ගැහුවා කියලා කිව්වා. සල්ලි හොරකං කළා කියලා මැඩම් බැන්නා කිව්වා. එයාලා දුවට අඩන්තේට්ටම් කරලා තියෙනවා. දුව කිව්වා මේ ගෙදර තවත් නම් ඉන්න බෑ කියලා. එයාව එක්කරගෙන යන්න කියලත් කිව්වා. මම කිව්වා දුවට හත්වෙනිදා අපි එන්නම් කියලා.’’

රංජනීගේ හිතටද ඒ වනවිට ඉෂාලිනී මුහුණදෙමින් ඇති කරදරය ගැන හැඟීයමින් තිබුණි. ඉෂාලිනීට කුමක්දෝ ලොකු දෙයක් කියාගන්නට ඕනෑ වුවත්, ඇය කතා කරන ටිකට රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා ඇතුළු නිවැසියන් ඒ අසල වූ වගත්, දැරියගෙන් දුරකතනය ඔවුන් උදුරාගත් බවත් ඇයට වැටහිණි.

‘‘මේ කාලය තුළ මම දුවව බලන්න තුන් වතාවක් කොළඹ ආවා. එක ගමනක් කොටුවට ආවම, ගමේ තැරුව්කරු කෝල් කරලා කිව්වා අද එයාලා ගෙදර නෑ පුත්තලමේ ගිහින් කියලා. ඊළඟ දවස් දෙකත් ඒ වගේ මඟට එද්දී ඇමතුම් ආවා. හැබැයි දුවගෙන් ඇහුවම එයා දවසක් කිව්වා කොහෙවත් ගියේ නෑ බොරැල්ලේ ගෙදර ඉන්නේ කියලා. එයාට මේ ගෙදර ඉන්න බෑ කියලා කියපු නිසා මම හිතන් හිටියේ මම වැඩට නතර වෙලා හරි දුවව ගෙදර එක්ක එන්නයි. ඒත් සංචරණ සීමා නිසා ටික ටික ඒ දවස කල් ගියා.’’

ඒ කල්යෑම ඉෂාලිනීගේ ජීවිතයට හැම අතින්ම බලපාමින් තිබුණි. බොරැල්ල පොලිසිය ඉෂාලිනීට වූ අකරතැබ්බය ගැන නිවැසියන්ට දන්වන්නේ මේ අතරය. ඒ ද ඉෂාලිනීට රැකියාව සොයාදුන් තැරැව්කරු මාර්ගයෙනි.

‘‘ඒ ජූලි මාසේ තුන්වෙනිදා. නංගි ගිනි තියාගෙන රෝහලට ඇතුළත් කළා කියලා දැනගත්තා. මාත් අම්මත් තාත්තාත් රෝහලට ආවා. පොලිසියටත් ගියා. රෝහලේදී දැනගත්තා නංගි හොඳටම පිළිස්සිලා කියලා. නංගි එක්ක අපට කතා කරන්න ලැබු‍ණේ නැහැ. එයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තිබුණේ. ඊටපස්සේ අපි නංගි වැඩ කරපු බදියුදීන් මහත්තයගෙ ගෙදරට ගියා. වෙලාවේ මම දැක්කා ලීටරයක බෝතලයක භූමිතෙල් බාගයක් විතර තියෙනවා. මම ඇහුවා නිවසේ අයෙකුගෙන්, භූමිතෙල් ලිප් මේ ගෙදර නැහැනේ? මොකටද භුමිතෙල් ගෙනාවේ කියලා. ඒ වෙලාවේ ඔහු කිව්වා මේක කාලෙකට කලින් ගෙනා එකක්. කෘමින් මීයන් එලවන්නයි එය යොදාගත්තේ කියලා. මගේ නංගිගේ මරණය සැකසහිතයි. එයා තමන්ට ගිනි තියාගන්න තරම් හිත ශක්තිමත් කෙනෙක් නෙමෙයි. එයා පුංචි දවස්වල ඉඳලම ගින්දරට බයයි.’’

ඒ ඉෂාලිනීගේ අයියා මිරු ප්‍රසාද් ය. නැගණියට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන වන කම්පනය මැද වුවද, ඔහු ඉෂාලිනී නැගණිය තම පවුලට දැක්වූ ආදරයද සිහිපත් කළේය. අනෙක් නංගිලාට වඩා ඉෂාලිනී මහත වූයෙන් අයියා නැගෙණියට ‘හාල් මිටිය’ කියා හෝ ‘අලිපැටියා’ කියා නිතර විහිළු කළේය.

‘‘කවුරු හරි විහිළුවක් කළත් එයාගෙ ඇස් රතු වෙනවා. මම දෙයක් කිව්වොත්, අනෙක් දරුවෝ ඒක එහෙම නෙමෙයි කියලා තර්ක කරනවා. ඒත් ඉෂාලිනී දුව එහෙම නෑ. මොනවා කිව්වත් කරබාගෙන ඉන්නවා. එයාට වුණ සිදුවීමේ ඇත්ත විස්තරය දන්නේ එයයි. ඒත් ගිනි තියාගන්න තරම් නම් මගේ දුව මෝඩ නෑ. දුව කලින් ඉඳන් අතවරයට ලක්වුණා කියන කාරණාව මට පිළිගන්න බැහැ. එයාට වුණ දේ අපට දැනගන්න ඕන.’’

රංජනී කියන්නේ හඬා වැටෙමිනි. ඒ කතාව හරියටම අහගන්නට අද ඉෂාලිනී නැත. ඇය ඉකුත් ජූලි 15දා ජීවිතය හැර ගියාය. ඇය මියගියේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සුම් තුවාල (72%) හේතුවෙන් ඇතිවූ විෂබීජ ආසාදනය හා කම්පනය හේතුවෙන් බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වේ. එහි තවදුරටත් සඳහන් වන්නේ ඇය කාලයක් තිස්සේ ගර්භනීභාවයෙන් තොරව ලිංගික අතවරයට ලක්ව ඇති බවයි. වෙනත් පහරදීම් කිසිවක් සිරුරේ නොවූ බවද එහි සඳහන්ය.

මේ වනවිට මෙම සිදුවීමට අදාළව බදියුදීන් මහතාගේ බිරිඳ, ඇයගේ සහෝදරයෙකු, ඇයගේ පියා හා බාල වයස්කාරිය මෙහෙකාරකමට සැපයූ තැරුව්කරුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මින් පෙරද බාල වයස්කාරියන් මෙම නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති අතර, ඔවුන් සපයා ඇත්තේද මෙම තැරැව්කරු බව පැවසේ. ඔවුන්ද ඩයගම ප්‍රදේශයේම අය වන අතර, 22 හැවිරිදි තරුණියක් බාල වයස්කාරියකව සිටියදී එම නිවසේදීම දූෂණයට ලක්ව ඇත. එම චෝදනාව එල්ල වී ඇත්තේ, බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොයුරාටය.

‘‘දැන් අපිට අපේ නංගි නෑ. නංගි වෙනුවෙන් අපි වන්දි ඉල්ලන්නේ නෑ. ඒත් එයාට මොනවද වුණේ කියනෙක අපිට දැනගන්න ඕන. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න. නීතිය පමණයි අපට පිහිටට තියෙන්නේ.’’

නැගෙණිය වෙනුවෙන් මිරු ප්‍රසාද් ඉල්ලන්නේ එයයි. සැහැල්ලුවෙන් දිවි ගෙවිය යුතු වයසක සුන්දර දැරියක වූ ඉෂාලිනී අද නැත. ඇයට වූයේ කුමක්දැයි කියන්නට තවමත් කිසිවකුත් දන්නේ නැත. මේ ළමා මෙහෙකාර සේවයේ තවත් එක් ඛේදවාචකයක් පමණි. මේ උදෙසා නීතිය යුක්තිය ක්‍රියාත්මක වීම අවශ්‍යය. නොඑසේනම් හෙට දවසේත්, අහිංසක ඉෂාලිනීලාගේ ඉරණම මෙයම නොවන්නේද?

දීපා වසන්ති එදිරිසිංහ