දකුණු ආසියාවටම ඉන්ධන දෙන පාවෙන වායු ගබඩාවක් හම්බන්තොට
හම්බන්තොට වරාය ආසන්න මුහුදේ පාවෙන ස්වාභාවික ද්‍රව වායු ගබඩාවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවසර ලබාදී තිබේ. මෙමගින් මාලදිවයින ඔස්සේ දකුණු ආසියානු කලාපයටම ඉන්ධන ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 97.2 (රුපියල් මිලියන 18,468ක) වටිනාකමින් යුත් මෙම ආයෝජනයට අදාළ ගිවිසුමට ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක සහ ව්‍යාපෘති සමාගම වන සෞදි අරාබියේ පර්ල් එන්ර්ජි සමාගමේ නියෝජිතයෝ පසුගියදා අත්සන් තැබිණි.
යෝජිත මෙම පාවෙන පර්යන්තයට වසරකට ඉන්ධන ටොන් මිලියනයක ධාරිතාවක් රඳවා ගැනීමේ හැකියාව පවතින බව ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඉදිකිරීමෙන් අනතුරුව සමාගම විසින් කුඩා ද්‍රව ඉන්ධන වාහක භාවිත කරමින් මාලදිවයිනටත් අනෙක් දකුණු ආසියානු රටවලටත් ගෑස් බෙදාහැරීම සිදුකෙරේ.
දකුණු ආසියාව ඉලක්ක කරගත් මෙම මූලික ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව හම්බන්තොට ලෝක මට්ටමේ ස්වභාවික ද්‍රව වායු අපනයනය කෙරෙන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙහි දීර්ඝකාලීන සැලසුම බවද ආයෝජන මණ්ඩලය පවසයි.
මෙමගින් ශ්‍රී ලංකාවටද මෙරට විදුලි බලාගාර ස්වාභාවික වායුවලට මාරු කිරීමට ධෛර්ය ලැබෙනු ඇතැයිද පවසන ආයෝජන මණ්ඩලය හම්බන්තොට වරාය සහ එහි කාර්මික කලාපය අනාගතයේ පිරිසුදු බලශක්ති කලාපයක් බවට පත් කිරීම අරමුණු කර ඇතැයිද සඳහන් කරයි. සෞදි සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 06ක කාලය ඇතුළත මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවයි.
