දත් රෝහල වත්ත බද්දට දී ඇස්සට දත නියවයි
පුහුණු කාර්ය මණ්ඩලය නොමැති වීමෙන් ජාතික දන්තායතනයට පැමිණෙන රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට පත් වීමට සිදු වී තිබේ.
කොරෝනා වසංගතය පැවැති කාලයේ දී අයි.ඩී.එච්. රෝහලට අනුයුක්ත කළ ජාතික දන්තායතනයේ (දත් රෝහල) පුහුණු කාර්ය මණ්ඩලය යළි ලබා නොදීම මෙම තත්ත්වයට හේතුව බව එහි අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන අප කළ විමසුමක දී පැවැසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ අවසරය මත තම රෝහලේ සිටි පුහුණු සේවකයින් 25 දෙනකු අයි.ඩී.එච්. රෝහලට අනුයුක්ත කළ අතර මේ වන විට දන්තායතනයේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කලත් කාර්ය මණ්ඩලය නොමැති වීමෙන් බරපතළ ගැටලු මතු වී ඇතැයි අධ්යක්ෂවරයා පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සේවය කළ පුහුණු සෞඛ්‍ය සේවකයින් නොමැති වීමෙන් තමන්ට කටයුතු කිරීමට නොහැකි බවද කී වෛද්‍ය දන්තනාරායන මෙම තත්ත්වය මත එදිනෙදා කටයුතු පවත්වා ගැනීමට නොහැකි යැයිද කීවේය.
මේ වන විටත් දිනකට දන්තායතනය වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සඳහා පුහුණු කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය බවත් අධ්යක්ෂවරයා කීවේය.
ශ්‍රියානි විජේසිංහ
