නවතම ප්‍රවෘත්ති

දරුවන් අනතුරේ හෙළන වැඩිහිටියන්ට එරෙහිව ඇති නීතිය දැනගන්න

නකල්ස් කඳුකරයේ ගුහාවක සිටියදී 15 හැවිරිදි දැරියක සහ ඇගේ මාස දෙකක් වයසැති බිළිඳිය සොයා ගැනීමේ සිදුවීම පිළිබඳව පසුගිය දිනවල මුළු රටේම අවධානය යොමුවුණා. මාස පහකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි දැරිය සොයාගැනීමත් සමඟ දරුවන් අවදානම් තත්ත්වයන්ට පත්වීමට බලපාන සමාජීය හා පවුල් පසුබිම් ගැන නැවතත් කතාබහක් ඇති වුණා. ඒ අතර, රූපවාහිනී වැඩසටහනකදී කුඩා දැරියකගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන්ද විවේචන මතු වූ අතර, දරුවන් මාධ්‍ය තුළින් ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ මානසික සුරක්ෂිතතාවයට හානි නොවන ලෙස කටයුතු කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය වුණා. මේ පසුබිම තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරුවන් සම්බන්ධ මාධ්‍ය කටයුතු සඳහා මාර්ගෝපදේශන හඳුන්වා දීමටද පියවර ගෙන තිබෙනවා.

 

කෙසේ වෙතත්, ළමා ආරක්ෂාව කියන්නේ මාධ්‍යයට පමණක් සීමා වූ කාරණයක් නෙවෙයි. දරුවෙකුට පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුවීම පමණක් නොව, ආහාර ලබානොදීම, පාසල් යාමට ඉඩ නොදීම සහ අසනීපයකදී ප්‍රතිකාර ලබා නොදීම වැනි දේවලුත් ළමා නොසලකා හැරීම් විදියට සලකනවා. 2026 වසරේ පළමු මාස නවය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වැනි නොසලකා හැරීම් සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 9,613ක් ලැබී ඇති බව සඳහන් වෙනවා. මේ සංඛ්‍යාවෙන් පෙනෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයි. ඒ වගකීම දෙමාපියන්ට පමණක් නොව, රජයට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ සමාජයේ සෑම කෙනෙකුටම පැවරෙනවා. එම වගකීම තවදුරටත් පැහැර නොහැර අකුරටම ඉටු කිරීමට අවශ්‍ය නීතිමය කරුණු කාරණා පිළිබඳවයි මෙවර අතිරේකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ.

 

ශ්‍රී ලංකාවේ නීතිය අනුව දරුවෙකු නොසලකා හැරීම හෝ අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම හඳුනාගන්නේ කුමන තත්ත්වයක් ලෙසින්ද?

 

සරලව කිව්වොත්, දරුවෙකුට අවශ්‍ය මූලික රැකවරණය ලබා නොදීම, ඔහුගේ හෝ ඇයගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම සහ ජීවිතයට හෝ සෞඛ්‍යයට හානි විය හැකි තත්ත්වයකට පත් කිරීම ළමා නොසලකා හැරීමක් විදියට සැලකිය හැකියි.

 

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ දරුවෙකු භාරව සිටින දෙමාපියෙකු හෝ භාරකරුවෙකු විසින් දරුවාට කෲර ලෙස සැලකීම, හිංසා කිරීම, නොසලකා හැරීම හෝ අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන්. දරුවාගේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට හානි වන ආකාරයෙන් රැකබලා ගැනීමට අපොහොසත් වීමත් මෙයට ඇතුළත් වෙනවා. ළදරුවෙකු හෝ වයස අවුරුදු 12ට අඩු දරුවෙකු අතහැර දැමීම සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහයේ විශේෂ ප්‍රතිපාදන තිබෙනවා.

සැකැසුම – කිත්මි ගීසරා

උපදෙස් – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක

වැඩි විස්තර සඳහා ධරණී වෙතින් නොමිලේ පිදෙන අතිරේකය බලන්න