දරුවන් සමඟ කාලය ගත කර කොරෝනා අවදානමෙන් මිදෙන්න
දරුවන් සමග කාලය ගත කිරීම කොරෝනා වයිරසයට ගොදුරු වීමේ අවදානම අඩුවීමට හේතුවක් බව බ්‍රිතාන්‍යයේ සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගොස් තිබේ.
පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාව තුළ වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් මිලියන 9කගේ දත්ත ඇසුරින් මෙම අධ්‍යයනය සිදු කෙරිණි. එහිදී දරුවන් සමග ගත කරන හා එසේ නොකරන අය ගැන අවධානය යොමු විය.
වයස අවුරුදු 18ට අඩු දරුවන් සමග කාලය ගත කරන වැඩිහිටියන් අධික උණ තත්ත්වයෙන් පෙළීම හෝ කොවිඩ් – 19ට ගොදුරු වී මරණයට පත්වීමේ අවදානමක් එමගින් පළ නොවීය. අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දරුවන් පාසලට ගොස් ආපසු නිවෙසට පැමිණීම සමස්තයක් ලෙස සලකන විට දැඩි අවදානමක් ඇති කර නැති බවය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ නිවර්තන වෛද්‍ය විද්‍යාව සහ ස්වස්ථතාව පිළිබඳ ලන්ඩන් විද්‍යාලයේ (LSHTM) පර්යේෂණ කණ්ඩායමක් එක්ව මෙම අධ්‍යයනය සිදු කෙරිණි. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන හා අවුරුදු 18ට අඩු දරුවන් සමග නිවසේ ගත කළ වැඩිහිටියන් රෝහල්ගත කිරීමේ අවදානමක් නොතිබූ බව ඉන් පැහැදිලි විය.
කොරෝනා වයිරසයට ගොදුරු වී මියගිය අයගෙන් 25%ට අඩු පිරිසක් ළමයින්ගෙන් දුරස්ව ජීවත් වූ අය වෙති. මේ ඔස්සේ පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ කලින් සිටම දන්නා පරිදි දරුවන් සමග ජීවත් වීම වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර බවය.
ද්විතියික පාසල් මට්ටමේ ළමුන් සමග ජීවත් වන 8%ක් වැනි ඉතා සුළු පිරිසක් පමණක් කොවිඩ් – 19 ආසාදිතයන් වීමේ අවදානමට පත්ව සිටියද රෝහල්ගත කිරීමට තරම් බරපතළ තත්ත්වයක් නොවීය. මරණ සංඛ්‍යාව 27%ට අඩුවිය. දරුවන් සමග ජීවත් නොවන මෙම වයසේම සෙසු වැඩිහිටියන් හා සසඳන විට එය අඩු මරණ සංඛ්‍යාවකි. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මෙතෙක් ජර්නල වාර්තාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වී නැත.
පර්යේෂණයට අදාළ කාල සීමාව තුළ යම් කාලයක් පාසල් විවෘතව තිබූ අතර මාර්තු 20 වැනිදාට පසු ඒවා වැඩි වශයෙන්ම වසා දමා තිබිණ. ගිම්හාන නිවාඩුවද දීර්ඝ වූ අතර සැප්තැම්බරයේදී පාසල් විවෘත වූයේ නැත. පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ලයිව් ස්මිත් පෙන්වා දෙන පරිදි අප දැනටමත් දන්නා කාරණයක් නම් දරුවන් සමග ජීවත් වන වැඩිහිටියන් සාමාන්‍යයෙන් නිරෝගී බවය. එමෙන්ම කවර හේතුවක් නිසා හෝ මරණයට පත් වීමේ අවදානම අඩු බවය.
ධම්මික සෙනෙවිරත්න
