විශේෂාංග

දරුවා බඩට එන්නත් කලින් ආබාධයක් තියෙනවද නැද්ද කියලා කියන්න මට පුළුවන්

නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ මව්කුස තුළ වැඩෙන දරුවෙක් නීරෝගීද එසේත් නැතිනම් ආබාධිතද යන වග දැන් කල්තියාම දැනගත හැකිය. එසේ කළ හැක්කේ දරුවා මව්කුස පිළිසිඳ ගැනීමෙන් නියමිත කාලයක් ගතවූ පසුවය. නමුත් නාම හා ශබ්ද ශාස්ත්‍රයට අනුව කිසියම් යුවලකට උප‍දින්නේ ආබාධ සහිත දරුවෙක්ද නැතිනම් නීරෝගී දරුවෙක්ද යන වග දරුවා මව්කුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටම කිව හැකි බව නාම හා ශබ්ද ශාස්ත්‍රඥ වෛද්‍ය නිවංක දිනාරංග පවසයි. ඒ දෙමව්පියන්ගේ නම් අනුවය. බොහෝ විට ආබාධ සහිත දරුවන්ගේ දෙමව්පියන්ගේ නම්‍වල දෝෂ ඇති බව ඔහු පවසයි.

පසුගිය සතියේ ලිපියෙන් විවාහයකට පෙර කේන්දර වගේම නම් ගැලපීමේ ඇති වැදගත්කම ගැනත් උදාහරණ සහිතව පහදා දුන්නා. දරුවන් ආබාධ සහිතව ඉපදීමට වගේම ඉපදුණාට පසු දරුවන් ආබාධිත වීමටත් පසුගිය සතියේ පෙන්වාදුන් විවාහ ‍ දෝෂ 17න් 4ක් අදාළ වෙනවා. දෙමව්පියන්ගේ නම්වල මෙම දෝෂ හතර ඇති විට දරුවන් සම්බන්ධයෙන් ජීවිතයේ විඳවීම් දැකගත හැකියි. මෙවැනි දෙමව්පියන්ගේ දරුවන් ඩවුන් සින්ඩ්‍රම්, සෙරබල් ‍පොල්ස්, ඔටිසම් වගේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන්න පුළුවන්. විවාහයට පෙර හෝ දරුවන් ලැබීමට පෙර දෙමව්පියන්ගේ නම්වල ඇති මේ දෝෂ හඳුනාගත්තොත් ඒවා ඉවත් කිරීමෙන් මේ තත්ත්වය වලක්වා ගැනීමටත් හැකියාව තියනවා.

ඒ වගේම ඇතැම්විට අලුත උපන් දරුවන්ට නම් තැබීමේදී දෙමව්පියන්ගේ නම්වල දෝෂ දරුවාට බලනොපාන ආකාරයට දරුවාගේ නම බලවත් කිරීමේ හැකියාවකුත් තියනවා. සෙරබල් පෝස් වැනි රෝග වැළදෙන්නේ දරුවා ඉපදී ටික කාලයකට පස්‍සේ. ඒ නිසා නම් තබන විට ඒ තත්ත්වය දෙමව්පියන්ගේ නම්වලින් හඳුනාගතහොත් දරුවා ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔහුගේ නම ප්‍රබල කිරීමේ හැකියාවක් තියනවා. නමුත් ඔටිසම් සහ ඩවුන් සින්ඩ්‍රම් වැනි තත්ත්වයන් ඇති වන්නේ උපතින්මයි. දරුවා උපදින්නට පෙර දෙමව්පියන්ගේ නම්වලින් ඒ දෝෂය ඉවත් නොකළොත් දරුවා උපදින්නේ එකී දෝෂ උපතින්ම අරගෙනයි. එවැනි අවස්ථාවක දරුවාට නම් තැබීමේදී දරුවාගේ නම බලවත් කර ඒ දෝෂ ප්‍රබලව බල‍නොපාන ලෙස, තමන්ගේ වැඩ තමන්ට කරගැනීමේ හැකියාව ඇති තත්ත්වයට පත් කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට සමහර ඩවුන් සින්ඩ්‍රම් දරුවො ඉන්නවා ඔවුන්ට කිසිවෙකුගේ උදව්වක් නොමැතිව කිසිවක් කිරීමට අපහසුයි. තවත් දරුවන් ඉන්නවා ඔවුන් බැලූ බැල්මට ආබාධ සහිතයි. ඒත් ඔවුන් තුළ විශේෂ හැකියාවන් තියෙනවා. ඔවුන්ට තමන්ගේ කටයුතු තනිවම කරගන්න පුළුවන්. උපතින් ගෙනාපු ආබාධ වුණත් අවම විදියට පලදෙන ආකාරයට දරුවන්ගේ නම් බලවත් කිරීමේ හැකියාවක් නාම හා ශබ්ද ශාස්ත්‍රය සතුව තියනවා.

එක උදාහරණයක් කියන්නම්. නීරෝගී දරු උපතකින් පසු හිටි හැටියේ රෝගී වුණ දරුවෙක් ගැනයි මම මේ කියන්න සූදානම් වෙන්නෙ. මේ දරුවාගෙ දෙමව්පියන් මගේ ළඟට එන විට දරුවට අවුරුදු හතර හමාරයි. ක්‍රියාශීලීව, නීරෝගීව සිටි මේ දරුවා හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට අවුරුදු එකහමාරක් වෙද්දී රෝහල්ගත කරනවා. අවසානයේ රෝහලින් ගෙදර ගේන්න වෙන්නේ කකුල් අතපය පණ නැති කිසිම ස‍ංවේදනයක් නැති දරුවෙක්. අඩු තරමේ කතාකරන දෙයට ඔළුව, ඇස් හරවා ප්‍රතිචාර දැක්වීමටවත් දරුවට නොහැකි වෙලා තියෙනවා.

වෛද්‍යවරුන්ගේ අවසන් නිගමනය වෙලා තිබුණෙ දරුවා CP (සෙරබල් පෝලස්) තත්ත්වයට පත්වෙලා කියලා. අම්මාගෙ නමේ මේ දෝෂය තිබුණා. අම්මාගේ නමේ දෝෂයක් නිසා මුළු ජීවිත කාලයම විඳවන තත්ත්වයක් පිහිටලා තිබුණා. දරුවාගෙ නමින් ඒ දෝෂය ප්‍රබල වෙලා තිබුණා. නමුත් අම්මා හිටියෙ නම වෙනස් කරන්න පුළුවන් වයසක නෙමෙයි. නාම හා ශබ්ද ශාස්ත්‍රයට අනුව මම දරුවාගෙ නම වෙනස් කරලා රෝගී තත්ත්වය වෙනස් කරන අභියෝගය බාරගත්තා. දරුවාගේ නම බලවත් වෙන ගණ පිහිටීමක් දැම්මා. දරුවගෙ නම වෙනස් කරලා සති දෙකකින් ඒ අම්මා කතා කළේ පුදුම සතුටකින්. අවුරුදු දෙකකින් කිසිම දේකට ප්‍රතිචාර නොදක්වපු දරුවා එයාගෙ අලුත් නම කියද්දි ඔළුව හරවලා ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ ආරංචියත් එක්ක මටත් ඒ දරුවා ගැන සුබ බලාපොරොත්තු තබා ගැනීමට හැකි වුණා. මනසින් කඩන් වැටුණු දෙමව්පියන් ‍දරුවාගේ ප්‍රතිචාර එක්ක අලුත් බලාපොරොත්තු ඇති කරගත්තා.

ඊට අවුරුදු දෙකකට පස්සෙ මම දරුවා දකින විට ඔහු සම වයසේ දරුවන් සමඟ දුවපැන සෙල්ලම් කරමින් හිටියේ. අඩුපාඩුවක් කියලා මම දැක්කෙ දරුවා එක කකුලක් අද්ද අද්දයි ඇවිදින්නේ. ඒකත් අවුරුදු ගාණක් කිසිම චලනයක් නැතුව වකුටු කරගෙන සිටීමේ ප්‍රතිඵලයක්. භෞතචිකිත්සක ප්‍රතිකාරවලින් ඒ තත්ත්වය මඟහරවා ගැනීමේ හැකියාව තිබුණා. දරුවාව එම ප්‍රතිකාර වෙත යොමු කරන්න මම දෙමව්පියන්ට උපදෙස් දුන්නා. ඒ වෙනකොට දරුවාගේ වයස අවුරුදු හතක් විතර ඇති. සාමාන්‍ය අවුරුදු හතක දරුවෙක්ගෙ ක්‍රියාවන් ඒ දරුවාගෙ තිබුණෙ නැහැ. නමුත් සෑහෙන්න ප්‍රගතියක් තිබුණා. ඇඳට පමණක් සීමා වූ, කිසිම දෙයකට ප්‍රතිචාර ‍නොදැක්වූ, දෑත් දෙපා වකුටු කොට සිටි දරුවා දුවපැන සෙල්ලම් කරන තත්ත්වයට පත්වීම ගැන ඒ දෙමව්පියන් බෙහෙවින් සතුටු වුණා.

සාමාන්‍යයෙන් නිරෝගී දරුවෙක් අවුරුද්දක් ගෙවෙද්දි ඇවිදින්න පටන් ගන්නවා. මම දැන් මේ කියන කතාවේ දරුවට අවුරුදු තුනයි. ඇවිදින විට එක කකුලක් පණ නැතුව බිම ඇදගෙන වැටෙනවා. ඒ දෝෂය තිබුණෙ දරුවාගෙ තාත්තගෙ නමේ. වාසනාවකට දරුවාගෙ නමින් ඒ තත්ත්වය ප්‍රබල වෙලා තිබුණෙ නැහැ. ඉතා ඉක්මනින් දරුවාගෙ නම වෙනස් කළා. තාත්තාගෙ නමේ දෝෂ දරුවාගෙ නමෙන් ඉවත් කළා. ස්නායු රෝග ඇති නොවන ආකාරයට ගණ පිහිටලා අලුත් නමක් හැඳුවා. ඒ දරුවාගෙ නම වෙනස් කරලා මාස තුනක්වත් ගියේ නැහැ, හොඳ ප්‍රතිඵල ලැබුණ බව දෙමව්පියන් කිව්වා. එච්චර ඉක්මනින් ප්‍රතිඵල එන්න හේතු කීපයක්ම තිබුණා. එකක් දරුවාගෙ නමින් තාත්තාගෙ නමේ දෝෂය ප්‍රබල වීමක් තිබුණෙ නැහැ. වාසනාවකට දරුවාගෙ වෙනසක් දුටු ගමන්ම දෝෂ හදුනාගෙන දෝෂ ඉවත් කරලා දරුවාගෙ නම ප්‍රබල කරන්න හැකියාව ලැබුණා. නම ආරක්ෂක මන්ත්‍රයක් වගේ දරුවාව ආරක්ෂා කළා.

මෙන්න මේ වගේ අපි නොහිතන තැන්වලදි ජීවිතවලට වාසනාව ගේන්න වගේම අවාසනාව ජීවිතවල‍ට උදාකරලා දෙන්නත් අපේ නම හේතු වෙනවා. ජීවිතේ වෙනස් කරන්න හැකියාව තියෙද්දි නමක් නිසා මුළු ජීවිත කාලයම කෙනෙක් විඳවන්න ඕන නෑ කියන එකයි මම කියන්නේ. නමුත් ඔබේ ඉරණම වෙනස් කිරීමට ගන්නා ඒ තීරණය සම්පුර්ණයෙන්ම ඔබට අයිති එකක්. මම කරන්නේ මේ ශාස්ත්‍රයට අනුව විය හැකි දේ සහ විය යුතු දේ පෙන්වා දීම පමණයි.

හිමේෂා සවන්තී රාජපක්ෂ