දවස් 7ට ජනාධිපතිවරු තුනක් ගෙනා අපූරු රට
පේරු රාජ්‍යයේ කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) විසින් නව අතුරු ජනාධිපතිවරයෙක් තෝරාගෙන ඇත. ඔහු සතියක කාලයක් ඇතුළත රටේ නායකයා ලෙස පත්වූ තුන්වැන්නාය. ඒ අනුව 76 හැවිරිදි ඉංජිනේරුවකු හා ශාස්ත්රඥයකු වන කොංග්රස් සභික ෆ්රැන්සිස්කෝ සාගස්ති ලබන වසරේ පැවැත්වීමට නියමිත පේරු රාජ්‍යයේ මීළඟ ජනාධිපතිවරණය තෙක් රට පාලනය කරනු ඇත.
පසුගිය සතියේදී පේරු ජනපති මාටින් විස්කරා ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ අල්ලස් චෝදනා මතය. කෙසේ වෙතත් ඔහු ට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තත්ත්වය රට පුරා විරෝධතා අවුළවාලීමට සමත් විය. එම විරෝධතා අතරතුර අවම වශයෙන් දෙදෙනකු මියගිය අතර බොහෝ දෙනකු තුවාල ලැබීය.
දැන් කොංග්රස් මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ෆ්රැන්සිස්කෝ සාගස්ති තාවකාලික ජනාධිපති ලෙස තේරී පත්වී ඇත. සාගස්තිට පෙර ගෙවී ගිය සතියේ ජනපති ධුරයේ වැඩ බලන ලද්දේ කොංග්‍රසයේ හිටපු කථානායක මැනුවෙල් මෙරීනෝය. හිටපු ජනාධිපති විස්කාරාට එරෙහිව සම්මත වූ දෝෂාභියෝගයෙන් අනතුරුව තාවකාලික පදනමින් ඔහු ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේය.
කෙසේ වෙතත් විස්කාරා ධුරයෙන් ඉවත් කිරීමට කොංග්‍රසය කුමන්ත්‍රණය කළ බවට විරෝධතාකරුවෝ තවමත් චෝදනා කරති. 57 හැවිරිදි විස්කාරා රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට බොහෝ වෙහෙසක් දැරූ අයෙකි.
නයන තරංග ගමගේ
