News

දිළිඳු රටවලට කොරෝනා එන්නත බෙදා දෙන්නේ කොහොමද?

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් හඳුන්වා දුන් විට ලෝකයේ සියලු රටවල ජනයාට පහසුවෙන් සහ සාධාරණ ආකාරයෙන් එය ලබා ගත හැකි වේවිද යන්න සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සැක මතු කරමින් සිටින අතර මේ දිනවල පැවැත්වෙන ජී-20 (G 20) රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදීද මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. ලෝකයේ දිළිඳු රටවලට එන්නත නිසි ආකාරයෙන් ලබා ගැනීමට හැකි වේවිද යන්න පිළිබඳව මෙහි දී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් විශේෂයෙන් ප්‍රශ්න කර ඇත.

එන්නත ලෝකයේ සියලුම රටවලට පහසු මිලට සාධාරණ ආකාරයෙන් බෙදා හැරීම සඳහා ගත හැකි සියලු පියවර ගන්නා බව ජී-20 රටවල නායකයන් මෙහි දී සඳහන් කර ඇතත් මර්කල් පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් තවමත් ආරම්භ වී නොමැති බවයි. මෙයට අදාළව අදාළ රටවල් සමග සාකච්ඡා ක්‍රියාදාමයක් පවා තවමත් ආරම්භ වී නොමැති බව ජර්මන් චාන්සලර්වරිය මෙහි දී අවධාරණය කර තිබේ. ලෝකයේ දියුණුම ආර්ථිකයන් හිමි රටවල් සාමාජිකත්වය දරන ජී-20 කණ්ඩායමේ මෙවර සමුළුවෙහි සභාපතිත්වය දරන්නේ සෞදි අරාබියයි. කොවිඩ් තත්ත්වය නිසා මෙවර රාජ්‍ය නායකයන් හමුවන්නේ අන්තර්ජාලය හරහාය.

එන්නත් නිෂ්පාදනය සඳහා සහ සියලු දෙනා වෙත සාධාරණ ආකාරයෙන් බෙදා හැරීම සඳහා අවශ්‍ය වන අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා වී ඇත. එමෙන්ම ආර්ථික වශයෙන් දරුණුම අර්බුදයන්ට මුහුණ දී ඇති දිළිඳු රටවලට උදව් කිරීම සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා වී තිබේ. ඇතැම් රටවල් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් තව දුරටත් සහන සැලසීම පිළිබඳව ද ජී-20 නායකයන් සාකච්ඡා කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි.

සහන් වික්‍රමගේ