News

දුම්බීම නිසා මානසික රෝග වැඩි වෙනවා

දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බවත් පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමට හේතුවන බවත් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් අතරතුර අද (24) ඔහු මේ බව සඳහන් කර ඇත.

දුම්බීම නිසා මානසික රෝග ඇතිවන බව වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර පොත්පත් හා ඉගෙනුම් ආධාරක ප්‍රකාශනවලින් ඉවත් කර ඇති බවත් දුම්බීම ප්‍රවර්ධනය කරන ප්‍රකාශන පිටු මිලියන 70ක් මේ වන විටත් සිගරට් සමාගම් විසින් සමාජ ගත කර තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දුම්බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන වන අතර එම වගන්තිය ඉදිරියේදී සියලුම පොදු ස්ථාන ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳක ජාතික අධිකාරීයේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් තවත් අයෙක් පෙළඹවීමක් ඇතිවන පරිදි මහජනතාවට ප්‍රදර්ශනය වන සේ දුම්වැටි භාවිතය දැනට තිබෙන පනත යටතේ වුවද සපුරා තහනම් වෙයි.

දුම්කොළ අඩංගු “විට වර්ග” විකිණීම, ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පණතට අනුව ශ්‍රී ලංකාව තුළ සපුරා තහනම් වෙයි.

නමුත් එම නීතිය තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවනවන බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කියයි.

ඉදිරි කාලය තුළ දී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෙම නීති ප්‍රායෝගිකව තදින් ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීමක් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

දුම්කොල සහිත බුලත් විට සැපීමෙන් ඇතිවන මුඛ පිළිකා නිසා ශ්‍රී ලංකාවේ දිනකට තිදෙනෙක් මරණයට පත්වන බවද ඔහු අනාවරණ කළේය.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර ආදියට ඇබ්බැහි වූවන් එම පුරුද්ද නිසා දැඩි කායික හා මානසික අපහසුතා වලින් පෙලෙමින් සිටින බව සිය දරුවන්ට වටහාදීම දෙමාපියන්ගේ වගකීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.