News

දුම්රිය ගමන් වාර අඩු කිරීමෙන් මගීන්ට දුම් දමයි

සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීම හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණි දුම්රිය මගීන්ට අපහසුතා රැසකට මුහුණ දීමට ඊයේ (28 වැනිදා) සිදුවිය.

මේ හේතුවෙන් ඊයේ උදෑසන කොළඹ කොටුව දක්වා ධාවනය වූ සියලුම දුම්රියවල මගීන් අතර විශාල තෙරපීමක් දක්නට ලැබිණි.

ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, කැලණිවැලි මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ධාවනයට එක්කර තිබුණු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සංඛ්‍යාව අවම කර තිබුණි. මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්නගෙන් අප කළ විමසුමකදී සඳහන් කළේ නත්තල් දිනයත් සති අන්තයත් අද (29 වැනිදා) යෙදෙන පෝය දිනයත් සැලකිල්ලට ගෙන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් මත දුම්රිය ගමන්වාර එම දිනවල අඩුකළ බවයි.

කෙසේ වෙතත් ඊයේ උදෑසන දුම්රිය මගීන්ගේ වැඩිවීම හේතුවෙන් ඊයේ සවස අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක්කළ බවත් අද දිනයේදී දුම්රිය ඊයේ දිනට වඩා අඩු දුම්රිය සංඛ්‍යාවක් ධාවනය වන බවත් හෙතෙම කීවේය.

මේ අනුව ඊයේ (28 වැනිදා) සවස 6.45 පසු කොළඹ කොටුවේ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් හෙට (30 වැනිදා) පටන් දුම්රිය ගමනා ගමනය පෙර පරිදි ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

එෆ්. අස්ලම්