විශේෂාංග

දේවශිඛාගේ සැත්කම සාර්ථකයි

වික්‍රමාන්විත සටනකින් පසු මා ජයග්‍රහණය කළා යැයි සිතුණි. ඒ දින කීපය ගෙවා දැමුවේ කිසිලෙසකින්වත් සිතා ගැනීමට නොහැකි ලෙසිණි. දියණියගේ සැත්කම බැරෑරුම් එකකි. ‘මාංශ පේෂී දික් කිරීමේ සැත්කම’ කකුල් දෙකටම එකවර සිදුකළ අතර මා හට ශල්‍යාගාරය තුළ සිටීමේ වාසනාව ද හිමිවිය.

“වසන්ති හැමදේම හරි. බය වෙන්න එපා. අපි දැන් සර්ජරි එක පටන් ගන්නවා. ඒත් ඔයාට මේක බලන්න ටිකක් අපහසු වෙන්න පුළුවන් ඔයාගේ දුවගේ නිසා.”

දියණිය සිහිනැති කිරීමෙන් පසු සැත්කමට පෙර දිමුතු වෛද්‍යතුමා කීවේය.

එය සැබෑවකි. සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සැත්කම සිදුකරන අයුරු පටිගත කිරීමට මා ඕනෑ තරම් ශල්‍යාගාරවලට ගොස් ඇත. ඕනැ තරම් සැත්කම් දැක ඇත. එහෙත් දේව් නිසොල්මනේ ඉන්නා හැටි දකින විට මගේ පපුවට පිහි පහරවල් එක පිට එක වදින බවක් දැනේ. යකඩ හිත උණුවෙන සේයාවක් දැනේ. එනිසාම සැත්කම සිදු කරන්නේ කෙසේද යන්න මගේ දෑසින් දකින්නට මා සූදානම් වූයේ නැත. මා ශල්‍යාගාරය අයිනකට වී ඊළඟ මොහොතේ පැමිණෙන දැවැන්ත අභියෝගයට සූදානම් විය.

සියල්ල අවසන් වූ පසු දැනුණේ මා තද නින්දකදී දුටු සිහිනයකින් අවදිවූ බවකි. දියණියගේ කකුල් දෙකට විශාල ප්ලාස්ටර් වෙළුමක් දමමින් තිබූ අතර එය සුවි‍ශේෂී ප්ලාස්ටර් වර්ගයක් විය. සින්තටික් කාස්ට් (synthetic cast) නමින් හැඳින් වූ එම වර්ගය මින් පෙර ශ්‍රී ලංකාවේ භාවිත කර නෙතිබීම විශේෂත්වයකි. හුණු ප්ලාස්ටර් හෙවත් (plaster of paris) මින් පෙර සැත්කම් සඳහා භාවිත කර තිබූ අතර සින්තටික් කාස්ට්, රාගම රෝහලේ සැත්කම් සඳහා භාවිත කළ මුල්ම අවස්ථාව එය විය. සැත්කම සඳහා සහභාගි වූ සෙසු වෛද්‍යවරුන් පවා මවිත වෙමින් මා සමඟ පැවසුවේ එවැනි සැත්කමක් රාගම රෝහලේ කළ පළමු අවස්ථාව මෙය බවයි.

සැත්කම ඉතා සාර්ථක විය. මසක කාලයක් දියණිය සින්තටික් කාස්ට් සහිතව සිටිය යුතුය. එය අප සියලුදෙනාටම අභියෝගයක් විය. දියණියගේ සියලු කටයුතු බැන්ඩේජ් එක සහිතව කළ යුතු වූ අතර එය තරමක බරකින් ද යුතු විය. දේව් නින්දට යනවිට හැරෙන්නට සෙසු සියලු කටයුතු ඇය සමග කිරීමට සිදුවිය. එහෙත් හුණු ප්ලාස්ටරය මෙන් කිසිඳු අවහිරයක් ඇති නොවීය. දේව් දිගු සපත්තු පැළඳ සිටින ආකාරයේ මෝස්තරයක් පෙණින.

“හැමදාම නිවාඩු ගන්නත් බෑ නේද? දුවත් වැඩට ගියොත් හොදයි නේද?”

නැන්දම්මා පැවසුවේ දේව්ගේ සැත්කමෙන් පසු සතියක් නිවාඩු ලබාගෙන මා නිවසේ රැඳී හුන් නිසාය. මගේ රාජකාරිය දේවකාරිය හා සමානව සලකන බැව් ඇය හොඳාකාරවම දනී. ඒ වනවිට දර්ශන කාර්යාලයට යාම ආරම්භ කර තිබුණේ නිවසේ වැඩ පිළිවෙලක් වෙමින් තිබූ නිසාය.

තාත්තාට වෙනදා මෙන් මා හට උදව් ලබාදීමට නොහැකිවීම පිළිබඳ වේදනාවෙන් පසුවිය.

“කමක් නෑ තාත්තේ. ඔයාට පුළුවන් කාලේ ඔයා කැපකිරීම් කළානේ. දැන් අපි පුළුවන් විදියට කර ගන්නම්. ඔයා මගේ ළඟ ඉන්න එකම මට ඇති. ඔයා මට කතා කරන එකම මගේ හිතට ලොකු හයියක්.”   

මම ඔහුට කීවෙමි.

සැත්කම නිමවී දේව් ගෙදර රැගෙන ආ පසු තාත්තාත් අම්මාත් නැවත පොල්ගහවෙල ගියේ මට නිදහසේ වැඩ කටයුතු කර ගත යුතු නිසාවෙන් බවයි තාත්තා කීවේ. තාත්තා දැන් සිතන්නේ එක්තැන්ව සිටින ඔහුගේ වැඩ අම්මා කර දෙන විට ඔවුන් දෙදෙනාටම මා වෙනුවෙන් උදව් කිරීමට නොහැකි වී ඇති බවකි. එහෙත් තාත්තාගේ සිතුවිලිවලට ඉඩදෙමින් මා ඔවුන්ට නිදහසේ ඉන්නට ඉඩඇරියේ මගේ ජීවිතේ ප්‍රශ්න යළි යළි දැකීමෙන් තාත්තා තව තවත් වේදනාවට පත්වන බව දන්නා නිසාය.

මාසයක කාලය අපට දිගු දවස් බවට පත්නොවෙමින් නිවසේ යහපත් පරිසරයක් නිර්මාණය වෙමින් තිබුණි. දේව් සුපුරුදු පරිදි සාමාන්‍ය කටයුතුවලට හුරු වූ අතර අපද ඊට අනුගත වූයෙමු. ඒ අතර සැමියාත් මමත් මාරුවෙන් මාරුවට සේවය සඳහා ද නික්මුණේය. පෙර පරිදි ප්‍රවෘත්ති ඉදිරිපත් කළේය, වැඩසටහන් පටිගත කළේය, සෙසු කාර්යයන් ඉටු කළේය.  නිවසේ සියලු ප්‍රශ්න  සේවා ස්ථානයට ඇතුල්වන දොරටුව ළඟ තබා ඒමට මා සෑම දිනකම උත්සාහ කළේය. කොටින්ම මෙවැනි සැත්කමක් දේව් වෙනුවෙන් සිදුකළාදැයි දැනසිටියේ අප ආයතනයේ දෙතුන් දෙනෙකු පමණි. ප්‍රසාද් කුමසාරු සහ චමින්ද අරඹේගෙදර මගේ මිත්‍රත්වයේ යාවජීව සාමාජිකයින් වූ අතර ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් දේව්ගේ කාර්යයන් පිළිබඳ සොයා බැලුවේය.

“අක්කා ප්ලාස්ටර් එක කපන්න තියෙන්නේ කවදාද?” ප්‍රසාද් විමසීය.

“දවස් දෙකකින් කපනවා.” මම කීවෙමි.

“එහෙනම් දුව එක්ක යන්න තව කවුරු හරි ඉන්න වෙයි නේද?”

“හිටියොත් හොඳයි. එයාව උස්සගෙන අරන් යන්න වෙනවානේ. දැන් ටිකක් බරයි. අනික ප්ලාස්ටරේ එක්කනේ.”

“හරි මම එනවා චමින්ද එක්ක.” ප්‍රසාද් කීවේය.

ඒ දිනය එළැඹෙනතුරු මා සිටියේ ඇඟිලි ගනිමිනි. අප සියලුදෙනා බලාපොරොත්තු රැසක් සමඟ රාගම රෝහලට ගියෙමු.

“කොහොමද? මේ ඉන්නේ ලස්සන සපත්තු දෙකක් දාලා දේවශිඛා. අපි අද ඔය සපත්තු දෙක ගලවලා දාන්න හදන්නේ. කැමතිද?”

දිමුතු වෛද්‍යතුමා දේව්ගෙන් ඇසුවේය. දේව් සිනාසුණාය.

“වසන්ති… දැන් අපි දුවගේ ප්ලාස්ටර් එක කපනවා. ඇත්ටම මේක ගොඩාක් හයියයි. ඒක නිසා අපි මේක කපන උපකරණෙ දැක්කම බයවෙයි. ඒත් බයවෙන්න එපා මේක අපි බොහොම පරිස්සමෙන් කරන්නේ.”

දිමුතු වෛද්‍යතුමා සිය කණ්ඩායම මෙහෙයවා ගනිමින් දේව්ගේ කකුල් දෙකේ ප්ලාස්ටරය ඉවත් කිරීමේ කාර්යය ආරම්භ කළේය.

කැපීමේ උපකරණයක් භාවිත කරමින් සින්තටික් කාස්ට් එක කැපීමේදී ඉන් නැගුණේ විශාල ශබ්ධයකි. ඒ ශබ්ධය මගේ පපුව පාසාරු කරමින් යන බවක් දැනේ. එහෙත් ඊළඟ නිමේෂයේ දියණියගේ කකුලේ හැඩය දුටු විට මට අදහාගත නොහැකිවිය.

ඇඟිළි හරියාකාරව බිම තැබීමට නොහැකිව ඇඟිලි තුඩු අගින් ඉස්සී අපහසුවෙන් නැගිට සිටි දියණියගේ කකුල අංශක අනූවේ එල් හැඩයට සැකසී ඇති අතර කකුල ඍජු ලෙස සහ ශරීරය සමබර ලෙස පහසුවෙන් තබා ගැනීමට හැකියාව ලැබී තිබුණි. මගේ දෙනෙතේ පිරී තිබුණේ සතුටු කඳුළුයි. කතා කිරීමට ඇති වචන එකිනෙක ගෙතී පැටළී ඇති බවක් දැනේ. වෛද්‍ය විද්‍යාවේ මේ තරම් හාස්කම් තිබිය හැකිදැයි සිතුණි.

“දැන් හැමදේම හරි. හැබැයි එක දෙයක් මතක තියා ගන්න. මේ සර්ජරි එක කළා කියන්නේ දුව ඇවිදිනවා කියන එක නෙවෙයි. දැන් දුවට පුළුවන් කකුල ඇඟලි තුඩුවලින් නැතුව නියම විදියට මුළු පතුලම බිමට තියන්න. හැබැයි ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න දිගටම ව්‍යායම් කරලා කකුල්වල, මාංශ පේෂී ශක්තිමත් කරන්න ඕනේ. ඒක සාර්ථක වුණොත් දුව ඇවිදියි. ඇවිදින්න අවශ්‍ය පහසුකම තමයි මේ හදලා තියෙන්නේ. ඒ නිසා මතක ඇතුව දිගටම ව්‍යායාම කරන්න. අනිවාර්යයෙන් මාසෙකට පස්සේ ආයේ එන්න.”

දිමුතු වෛද්‍යතුමා  උපදෙස් දුන්නේය.

දිමුතු තෙන්නකෝන් ශල්‍ය වෛද්‍යවරයාට දහස් වාරයක් ස්තුති කරමින් ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණයක් සමඟින් දේව් රැගෙන අප රාගම රෝහලෙන් පිටවිය. ඉඳහිට හෝ දෙවියන් වැනි මිනිසුන් අපේ ජීවිතවලට මුණ ගැසෙන්නේ නොසිතූ ලෙසිනි.