නත්තල් සීයලාට කොරෝනා එන්නත විදින්නේ නෑලු
නත්තල් සීයා චරිතයෙන් කොරෝනා එන්නත් වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම අවලංගු කර දමන්නට ඇමෙරිකා බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකාවේ බලධාරීන් මෙයට පළමුව සැලසුම් කළේ කොරෝනා එන්නත් කිරීමේ වැඩසටහන් මහජනයා අතර ව්‍යාප්ත කිරීමට නත්තල් සීයාගේද සහය ලබාගැනීම සඳහායි. වැඩපිළිවෙළේ එක් අදියරයක් ලෙස නත්තල් සීයලා එන්නත් කිරීමටද සැලසුම් කර තිබිණි. එම කටයුත්ත වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්‍රචාරණ වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 250ක්ද රජය වෙන් කර තිබිණි.
නත්තල් සීයා චරිතය උපකාරයට ගෙන කොරෝනා එන්නත් වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලේකම් මයිකල් කැපුටෝය. නොවැම්බර් මාසයේ මැද භාගය වනවිට කොරෝනා එන්නතට ඇමෙරිකා රජයෙන් අනුමැතිය ලැබෙනු ඇති බවත් එය කොරෝනා මර්දන කාර්යයේදී යොදා ගත හැකි වනු ඇති බවත් ඔහුගේ බලාපොරොත්තුව විණ. කොරෝනා මර්දනය කිරීමේ කටයුතුවලදී ඉදිරිපෙළ ක්‍රියාකරන සේවකයන් සඳහා එම එන්නත ලබාදීම පළමුවෙන්ම සිදු කෙරෙනු ඇති බවටත් ඔහු බලාපොරොත්තු තබාගෙන සිටියේය. ඒ අනුව එම සේවකයන්ට එන්නත ලබාදීම නොවැම්බර් මාසයේ අවසන් බ්‍රහස්පතින්දා සිදු කෙරෙනු ඇතැයි හෙතෙම අපේක්ෂා කළේය.
නත්තල් සීයා චරිතයට අඳින විශාල පිරිසක් මෙම කාර්යයට සහය ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අදහස් කරගෙන සිටි බවද සඳහන් වේ. “ෆ්‍රැටර්නල් ඕර්ඩර් ඔෆ් රියල් බියර්ඩ්”හි සභාපති රික් අර්වින් සඳහන් කරන්නේ මෙමගින් සිදුවුණේ නත්තල් සීයලා රැවටීමක් බවයි. වෝල් ස්ට්‍රීට් ජර්නලය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ ”… එය 2020 නත්තල සම්බන්ධයෙන් අප තබා තිබුණු විශාල බලාපොරොත්තුවක්. නමුත් එය ඉටු කරගත නොහැකි බවක් පෙනී යනවා. …” යනුවෙනි.
මංජුලා විජයරත්න
