News

නරඹන්නන් ඉදිරියේදීම කොටි දෙන සේවිකාවක මරයි

සත්වෝද්‍යානයක කොටි දෙනක් එහි සිටි නරඹන්නන් සහ සෙසු සේවකයින් ඉදිරියේදීම, තමා බලාකියා ගන්නා පුද්ගලයා මරා දැමීමේ සිදුවීමක් ගැන ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙයි.

මෙම කොටි දෙන ඇයගේ කූඩුව තුළදීම ඉහත කී පුද්ගලයා මරා ඇත්තේ ස්විට්සර්ලන්තයේ සූරිච් සත්වෝද්‍යානයේ ය. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ 55 හැවිරිදි සේවිකාවකි. අයිරිනා නමින් හැඳින්වෙන කොටි දෙන සයිබීරියානු කොටින්ගේ වර්ගයට අයත් එකෙකු බැව් සඳහන් වේ.

සිද්ධිය දුටු නරඹනන්නන් ඒ ගැන වහා දැනුම් දී ඇති අතර එහි පැමිණි සත්වෝද්‍යාන සේවකයින් කොටි දෙන කූඩුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. නමුත් ඒ වන විටත් අදාළ සේවිකාව මියගොස් සිට ඇතැයි වාර්තා වෙයි.

කොටිදෙන කූඩුව තුළ සිටියදී ම සේවිකාවද එහි ඇතුල් ව ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වනවිට විමර්ශනයක් දියත්ව තිබේ. ඩෙන්මාර්කයේ උපත ලබා පසුව සූරිච් සත්වෝද්‍යානය වෙත ගෙනැවිත් ඇති අයිරිනාගේ වයස අවුරුදු 5 කි. සිද්ධිය ඇසින් දුටු අයට මානසික උපදේශනය ලබා දීමටද සත්වෝද්‍යාන බලධාරීන් පියවර ගෙන තිබිණි.

සූරිච් සත්වෝද්‍යානයේ සිටි කිඹුලෙකු ඔහු සිටින ස්ථානය පිරිසුදු කිරීමට ආ සේවකයෙකු ගේ අත සපා කෑ අවස්ථාවක් ගැනද 2019 වසරේ වාර්තා වී තිබේ. කිඹුලා සේවකයාගේ අත මුදා නොහරින විට කිඹුලාට වෙඩි තැබීමට බලධාරීන් තීරණය කර තිබිණි.

සහන් වික්‍රමගේ