නාගලන්ත ප්‍රාන්තයේ සුනඛ මස් අලෙවිය තහනම්
ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තය සුනඛ මස් අලෙවිය සහ ආනයනය තහනම් කර ඇත. ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන නාගලන්තයේ බලධාරීන් මේ තීරණයට එළඹියේ සත්ත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරිකයන් කළ බලපෑම් නිසාය.
ඒ අනුව පිසින ලද හෝ නොපිසින ලද හෝ සුනඛ මස් ආනයනයට සහ අලෙවියට තහනම පැන වී ඇත. මේ තහනම ප්‍රායෝගිකව තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ප්‍රාන්ත බලධාරීන් මේ වනතුරු සිදුකර නොමැත.
සුනඛ මස් භාවිතයට එරෙහිව විශාල හඬක් එම ප්‍රාන්තයෙන් එක්වරම මතු වූයේ සුනඛයකු ගෝනියක බහා සුනඛ මස් අලෙවි කරන වෙළඳපොළක තබා තිබෙන දර්ශන පෙළක් සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීමත් සමගය.
සුනඛයන් ගෝනිවල බහා එම ගෝනිවල කට තදින් ගැට ගසා සුනඛ මස් අලෙවි කරන ස්ථාන වෙත ඒවා රැගෙන ඒම එහි සාමාන්‍යයෙන් සිදුවන බව සඳහන් වේ. එලෙස ගෙන එන සුනඛයන් හිංසනයන්ට ලක් කර මරා මස් ලබා ගන්නා බවත්, එම මස් අලෙවි කරන බවත් ඉන්දීය සත්ත්ව සුරැකුම් සංවිධාන කියා සිටී.
30,000කට අධික සුනඛයන් සංඛ්‍යාවක් දුර බැහැර ප්‍රදේශවල සිට නාගලන්තයට සෑම වසරක් පාසාම ගෙන එන බව සත්ත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති. එම සුනඛයන් රැගෙන එන්නේ ප්‍රාන්තයේ ක්‍රියාත්මක නීති රීතිවලට පටහැනිවය. ඒ අන්දමට ගෙන එන සුනඛයන් පොලුවලින් ගසා මරා දැමෙති. සුනඛ මස් අලෙවිය තහනම් කිරීමට නාගලන්තයට පළමුව පියවර ගත්තේ මිසොරාම් නැමැති ඉන්දීය ප්‍රාන්තයයි.
සුනඛ මස් අලෙවිය සහ ආනයනයට එරෙහිව නාගලන්ත බලධාරීන් පැන වූ තහනම නාගලන්තයේම ඇතැම් සමාජ ක්‍රියාකාරිකයන්ගේ කෝපය අවුළුවන්නට හේතුවක් වී ඇත. ඔවුන් පවසන්නේ නව තීරණය හේතුවෙන් නාගලන්ත ප්‍රාන්තයේ ආහාර සංස්කෘතියට බාධා පැමිණෙන බවයි.
සුනඛ මස් ආනුභවය, අලෙවිය සහ ආනයනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් ය. එසේ වුවත් ඊශාන දිග ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොකෙරේ. සුනඛ මස් අනුභවය ලොව ඇතැම් රටවල අදටත් දක්නට පුළුවන. එවැනි රටවල් අතර දකුණු කොරියාව, චීනය සහ තායිලන්තය ඉතා ප්‍රකට ය.
මංජුලා විජයරත්න
