News

නාවික ක්ෂේත්‍රයේ ආදායම ඇ.ඩො.බිලියනයක් දක්වා වැඩිකරන සැලැස්මක්

නාවික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම ඔස්සේ එම ක්ෂේත්‍රයෙන් ලබන ආදායම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා ඉහළ දැමීමට රජය සූදානම් වේ. මෙතෙක් එම ක්ෂේත්‍රයෙන් ලබන ආදායම ඇ.ඩො. මිලියන 300 කි.

නාවිකයන්ගේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය නව සැලැස්මක් දැනටමත් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසයි.

ශ්‍රී ලංකාව සතුව නාවික යාත්‍රා 17,500 ක් පමණ පැවැතියද වරකට සේවය ලබාදෙනු ලබන්නේ නාවිකයන් 5000 ක් පමණි. මෙම නාවිකයෝ 5000 වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ඉපැයුම් රටට ගෙන එනු ලබති.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ රැකියා අවස්ථා ඉහළ නැංවීම ඔස්සේ මෙම ආදායම වාර්ෂිකව රුපියල් බිලියනයක් දක්වා පහසුවෙන් ඉහළ නැංවිය හැකි බවයි.

සුදුසුකම් ලත් නාවිකයකු විසර්ජන සහතිකයක් (හැඳුනුම් පතක්) දරන අතර එය දරන්නා අන්තර්ජාතික පුහුණුවක් ලබා නාවිකයන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ නීතිරීතිවලින් බැඳී සිටී.

සෑම මසකම ශ්‍රී ලංකාව පසුකරන නැව්වලින් 2500 ක පමණ කාර්ය මණ්ඩලයකට ඇණවුම් පවතින අතර එම ඉල්ලුම් සැපිරීම සඳහා සකස් කළ අදාළ සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන බව විශ්‍රාමික ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

නයන තරංග ගමගේ