News

නියාමන පනත උල්ලංඝනය කර බෙහෙත් දීලා

ගැසට් නිවේදනයක් මගින් මිල පාලනයකට යටත් කර ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ නේවාසික හා බාහිර රෝගීන්ට ලබාදීමේදී අධික මිල ගණන් අය කළහොත් ඖෂධ නියාමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ෆාමසි බලපත්‍ර අවලංගු කරන බව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලුම පෞද්ගලික රෝහල්වලට දැනුම් දී ඇත.

පෞද්ගලික රෝහල් මිල නියාමනය කර ඇති ඖෂධ සඳහා අධික මිල ගණන් අයකරන බවට රෝගීන්ගෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

මෙලෙස ඖෂධ සහ අක්ෂි කාච සඳහා අධික මිල ගණන් අය කළ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකට එරෙහිව රෝගීන්ගෙන් පැමිණිලි ලැබී ඇත. එම සෑම අවස්ථාවකදීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෞද්ගලික ​රෝහල්වලට අවවාද කර තිබේ.

මේ ආකාරයට දෙවරක් අවවාද කළ කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක්, නේවාසික රෝගීන් දෙදෙනකුගෙන් පාලන මිලට වඩා අධික මුදල් අය කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වයට දැඩි ලෙස අවවාද කළ බවද එම අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසීය. මෙම රෝගීන්ගෙන් පාලන මිලට වඩා හතර ගුණයකින් පමණ ඖෂධ සඳහා මුදල් අය කර ඇති අතර, එම මුදල් යළි රෝගීන්ට අයකර දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

උදයජීව ඒකනායක