නවතම ප්‍රවෘත්ති

“නිර්වින්දනය වෙලා හිටියට මොකද ඒ හාදයා මට උඩින් යන්න ගැහුවා…” පශු වෛද්‍යවරයාට පින්නවල අලි රෝගියෙකුගෙන් පා පහරක්…

ඉන්දියානු ජාතික පශු වෛද්‍යවරයෙක් වූ සී. ගෝපකුමාර්ට 2015 වසරේදී සංවේගජනක ඉරණමකට මුහුණපෑමට සිදුවුණේය. ඒ, එරට කෝවිලක පැවැති ආගමික උත්සවයකදී ඊට ගෙන්වා තිබූ ‘ගංගාධරන්’ නමැති හස්තියාගේ ප්‍රහාරයකට ලක්ව මියයාමයි. එදා ඒ උත්සවය අතරතුර එක්වරම හස්තියා කලබල වූ බවත්, පසුව පශු වෛද්‍යවරයා හස්තියා නිර්වින්දනය කිරීමට උත්සාහ කිරීමේදී කෝපවූ හස්තියා පශු වෛද්‍යවරයා පසුපස පන්නා ගොස් ඔහුව පාගා මරා දැමූ බවත් සඳහන්ය. අප මේ කතාව ඔබට පැවසුවේ පශු වෛද්‍ය භූමිකාව යන්න ඒ තරම් අවදානම් සහගත වෘත්තියක් බව මතක් කර දෙන්නටය.

 

පශු වෛද්‍යවරයෙකු ලෙස පින්නවල අලි අනාථාගාරයේ සේවයේ කළ අවධියේ (2008) ජගත් ජයසේකර මහතාටද වරක් අලියකුගේ ප්‍රහාරයකට ගොදුරු වන්නට සිදුවිය. එහෙත්, මොකක් නමුත් වාසනාවක් නිසා ඔහුගේ දිවි ගැලවුණු අතර, ඒ සිදුවීම අදටත් ඔහුගේ මතක ගොන්නේ ඉහළින්ම තිබේ.

 

“ඒ වෙනකොට පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන පශු වෛද්‍යවරයා වුණේ චන්දන රාජපක්ෂ මහත්මයා. ඔහුත්, මමත්, පශු වෛද්‍ය චමින්ද දිසානායක මහත්මයත් තමයි පශු වෛද්‍යවරු විදිහට පින්නවල හිටියේ. මට මතක විදිහට ඒ කාලේ අලි ඇතුන් 90කට ආසන්න ප්‍රමාණයක් හිටියා. ඒ තරම් අලි ඇතුන් ප්‍රමාණයක් බලන එක ඇත්තටම ලේසිවුණේ නෑ. හැබැයි අපි, අපේ රාජකාරිය අකුරට ඉටුකළා.”

 

දිනපතාම අලි ඇතුන්ගේ සෞඛ්‍ය ගැටලු නිරීක්ෂණය, පෝෂණ කටයුතු සොයාබැලීම, වාර්ෂික එන්නත් ලබාදීම, පණුහරණ ඖෂධ ලබාදීම, හදිසි නිර්වින්දන කටයුතු සිදුකිරීම, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම, රෝගී සතුන් පරීක්ෂාව මෙන්ම හිටිහැටියේ ඇතැම් පෙරහර සඳහා හදිසි අලි ඇතුන් නිර්වින්දන කිරීම්වලට යාමද ඔවුන්ගේ ඒ රාජකාරීන් අතර විය.

 

“අලි ඇතුන් රංචුවක් විදිහට ඉන්න පින්නවල වගේ තැනක දිනපතා ඒ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හැමදාම උදේට ඒ සතුන් ලිහාදාන්න කලින් ඔවුන් ළඟට යනවා. ගිහින් බාහිරින් ඒ අය නිරීක්ෂණය කරලා මළපහ පවා පරීක්ෂා කරනවා. නිකන් හරි ඒ මළපහවල අසාමාන්‍ය වෙනසක් තිබුණොත් එයින් මළපහ නියැදියක් අරගෙන වැඩිදුර පරීක්ෂාවට යවනවා. ඒ වගේම පින්නවල අලි ඇතුන්ට දෛනික කාලසටහනක් තියෙනවා. අලි ඇතුන්ට ආහාර ලබාදීම, කුඩා පැටවුන්‍ට කිරි පෙවීම, දියනෑමට මා ඔයට රැගෙනයාම වගේ හැමදේම සිද්ධ වෙන්නේ ඒ කාලසටහන අනුව. එහි අලි රංචුව මා ඔයට ගෙනියන වෙලාවට අතරමග තැනක ඉඳන් අපි ඔවුන්ගේ පාදවල රෝගාබාධ තියෙනවද කියලා නිරීක්ෂණය කරනවා. නිකන් හරි එවැනි සතෙක් හිටියොත් අපි එයා අඳුනගෙන නැවත අලි ගාලට අරගෙන ආවම ඔවුන්ව පරීක්ෂා කරලා ප්‍රතිකාර කරනවා.”

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න

රුවන් එස්. සෙනවිරත්න