News

නිරෝධනයේ සිටි පොලිස් නිලධාරියෙක් පැන ගිහින්

කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරෙක් පසුගිය සිකුරාදා (09 වැනිදා) රාත්‍රියේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහ මග වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත.

කොරෝනා හේතුවෙන් වසා දැමුණු මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් 53 දෙනකු නිරෝධායනය සඳහා කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට එවා තිබූ අතර මෙම පොලිස් රියැදුරාද ඉන් එක් ​අයෙකි.

පොලිස් විද්‍යාල පරිශ්‍රයෙන් රාත්‍රියේ පැන​ ගොස් ත්‍රිරෝද රථයකින් කළුතර පැමිණ ඇති මොහු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබේ. ඉන්පසු කළුතර ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ නිවසක් අසල මොහු බීමත්ව වැටී සිටියදී එහි නිවැසියන් මේ බව දකුණු කළුතර පොලිසියට දන්වා ඇත.

මෙම පොලිස් නිලධාරියා සහ ඔහුව දකුණු කළුතර පොලිසියට ගෙන ආ උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් කොස්තාපල්වරයකු හා පොලිස් රියැදුරෙකුද නිරෝධායනය සඳහා පොලිස් විද්‍යාලයටම ගෙන ගොස් තිබේ.

පොලිස් රියැදුරා මහ මග වැටී සිටින බව පොලිසියට දැන්වූ නිවෙස් හිමිකරු ඇතුළු එම නිවසේ අට දෙනෙකුද මේ වන විට එම නිවස තුළම නිරෝධායනයට ලක්කර ඇත. මොහුව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට කළුතර නගරය දක්වා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරු හඳුනා ගැනීම සඳහා දැන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර