News

නොරොච්චෝලෙන් ආ අළු වලාකුළක් වගා බිම් මතට

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නිකුත්​ කෙරෙන අළු අවට වගාබිම්වලට පතිත වීමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

ගොවීන් පවසන්නේ ජූනි 23 වැනිදා දින බලාගාරය දිශාවෙන් පාවී ආ විශාල අළු වලාකුළක් විමෝචනය වී ඔවුන්ගේ වගාවන් සහ අවට ප්‍රදේශයේ පතිත වීමෙන් තමන් භීතියට පත්වූ බවයි.

විනාඩි 5ක පමණ කාලයක් මෙලෙස අළු පතිත වූ බව ගොවීහූ පවසති.

මේ පිළිබඳව අදහස් පළකරන ලක්විජය බලාගාරයේ කළමනාකරු ඉන්ද්‍රජිත් ගාල්ලගේ පවසා ඇත්තේ ගල් අඟුරු දහනය කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අළු විදාරණය සිදුව ඇති බවයි.

අළු විදාරණය සිදුවන අවස්ථාවේ වර්ෂාපතනයක් පැවැති බැවින් එම අළු ප්‍රදේශවලට පතිත වී ඇති බවයි කළමනාකරු සඳහන් කරන්නේ. කෙසේ වෙතත් කඩිනමින් මෙම දෝෂය නිවැරැදි කරන ලද බවත් හෙතෙම පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට බලාගාරයේ නිලධාරීන් ගොවීන් හමුවට යවා ඇති බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පවසා ඇත.

නයන තරංග ගමගේ