පතුල පහත් බස් ගෙන්වීමේදී පෞද්ගලික අංශයට ගැටලු රැසක්
මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලි බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් පතුල පහත් බස් රථ ගෙන්වීම සඳහා කළ යෝජනාව අගය කරන නමුත්, පෞද්ගලික අංශයට එය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.
දැනට ධාවයේ යෙදෙන බස් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 70 ක් වැනි මුදලක් වැය කළද නවීන බස් රථයක් සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වැනි මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු කීවේය.
පවතින බස් ගාස්තු යටතේ එවැනි ආයෝජනයක් සිදුකර ලාභ ලැබීම දුෂ්කර බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් එවැන්නක් සිදුකරන්නේ නම් සහන ණය දීමේ විදිමත් පියවරක් පැවතිය යුතු බව සහ එවැනි තීරණ ගැනීමට පෙර පුළුල් සාකච්ඡාවකට යායුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
මේ අවස්ථාවේදී වසංගතය හේතුවෙන් බස් රථ හිමියන්ගේ ආදායම සියයට පනහකින් පහත වැටී තිබියදී ප්‍රවාහනය සම්බන්ධව ගන්නා තීරණ බස් රථ හිමියන් අපහසුතාවට පත්වන ඒවා නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
ශිරන්තනි මානවඩු
