News

පන්දහසේ උද්ඝෝෂණ පිටුපස විපක්ෂයේ බළල් අත්

හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙලළඹවීම පසුපස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවල ජනතාව විරෝධතා අරඹා තිබුණේ පෙරේදා (21 වැනිදා) පටන්ය. එම පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, රුපියල් දසදහසේ සහන මල්ලක් ලබා දිය යුතු බවත් ඉල්ලා උද්ඝෝෂණ අරඹා තිබිණි.

මෝදර, ඉබ්බගේවත්ත අලුත් මාවත පදිංචි පවුල් 300ක් පමණ රුපියල් දසදහසේ ආහාර මල්ල ඉල්ලා උද්ඝෝෂණ ඇරැඹුවේ පෙරේදා (21 වැනිදා) දිනයේය.

මෝදර ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දී දින දෙකකට පසුව මෙම උද්ඝෝෂණය සැලැසුම් කර තිබිණි. උද්ඝෝෂකයින් මෙහෙයවු පිරිස් පසුපස සිටින දේශපාලනඥයින් දෙමටගොඩ, කාලිපුල්ල වත්තේ ‘‘සියපත සෙවන’’ නිවාස යෝජනා ක්‍රමයේද සිටින ජනතාවද විරෝධතාවකට යැවීමට සූදානම් කරන බවද හෙළි වී තිබිණි.

රජය මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහස හා දසදහසේ ආහාර මල්ල ලබා දීමට රුපියල් බිලියන 2.6ක් (මිලියන 2600ක්) වැය කර ඇති බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න ‘අරුණ’ කළ විමසුමක දී පැවසීය.

රුපියල් දසදහසේ ආහාර මල්ල නිරෝධායනයට ලක් කර ඇති පවුල් වෙත පමණක් ලබා දුන් නමුත් මේ වන විට උද්ඝෝෂණ පවත්වා හුදකලා ප්‍රදේශවල සිටින අයත් එය ඉල්ලමින් ඇතැයි ද හෙතෙම පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් හාරලක්ෂ පනස් පන් දහසකට මේ වන විට රුපියල් පන්දහස පමණක් ගෙවා ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා